පිටිගල ද්විත්ව ඝාතන සිද්ධියේ සැකකරුවන් 25 තෙක් රිමාන්ඩ්!

prison-jail-hands-bar

ජයකාන්ත ලියනගේ –  බළපිටිය 

පිටිගල පොලිස් වසමේ නියාගම, හොරංගල්ල, ගුරුවිලදී  හතර දෙනෙකුට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කර අනෙක් දෙදෙනාට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා 2024 මාර්තු 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මාහේස්ත්‍රාත් මධුෂිකා වාසලමුදලි   අද (18) නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් කරුණු වාර්තා කරන ලෙසත් සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන්ද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පිටිගල පොලීසියට දැනුම් දුන්නේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ 69 කොටස, නියාගම, තල්ගස්වල ලිපිනයේ පදිංචි නාගොඩවිතාන කසුන් රන්දික නාගොඩවිතාන (36) සහ අලවත්තහේන, ගෝනගල්ගොඩ, තල්ගස්වල ලිපිනයේ පදිංචි කාරියවසම් ලොකුගමගේ ගයාන් ප්‍රසන්න (36) නැමැති දෙදෙනාය.

පසුගිය මාර්තු 11 දින රාත්‍රී 7.50 ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙළදසැල් හිමිකරුවකු ඉලක්ක කර සිදුකරන ලද වෙඩි තැබීමකදී මෙම ඝාතන හා තුවාල සිදු කිරීම් සිදුව තිබේ. 


සිද්ධිය වූ ස්ථානයේදීම එක් අයෙකු මියගොස් තිබෙන අතර අනෙක් පුද්ගලයා මියගොස් ඇත්තේ ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවය.

සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත්තේ කුරුදු තැලීමේ රැකියාවේ නිරත අයකු වන කරන්දෙණිය ගලගොඩ අත්තේ පදිංචි සතිෂ් මධුශංක (32) නැමැති දෙදෙරු පියෙකි. හොරංගල්ල, ගුරුවෙල පදිංචි කටුකුරුන්ද ආරච්චිගේ කවීෂ අංජන (26) ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ. රෝහලේදී මියගිය තුවාලකරු බරපතල තුවාල ලබා ඇල්පිටිය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය රෝහලට මාරුකර යවා තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු ටී – 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇල්පිටිය, කහදූව ප්‍රදේශයට පලාගොස් තිබෙන බවද පිටිගල පොලීසිය කියයි.

තුවාල ලැබුවන් අතර සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය සතිෂ් මධුශංක (32) නැමැති අයගේ බිරිය වන එන් කේ දිනුෂිකා (32) සහ තලාව, කුරුදුගහ හැතැක්ම පදිංචි සුනිල් ශාන්ත (54) නැමැති දෙදෙනා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මේ වන විටත් නේවාසික ප්‍රතිකාර ලබයි.

වෙඩි තැබීමෙන් පසු එම ස්ථානයේ වැටී තිබු ටී – 56  හිස් පතුරොම් කොපු 18 ක් පිටිගල පොලීසිය විසින් සොයා ගෙන තිබේ. හොරංගල්ල, ගුරුවෙල මෙම වෙඩි තැබීම සිදුකළ වෙළදසැලේ හිමිකරු ඉලක්ක කර වෙඩි තැබීම් සිදු කර ඇතත් ඔහුට කිසිම හානියක් වී නැති බවද මෙය මුදල් ආරවුලක් මත හෝ වෙළදසැල් හිමිකරු විසින් මීට පෙර සිදුකරන ලද ඝාතනයක් සම්බන්ධයෙන් වූ පලි ගැනීමකට සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වි තිබේ. 

වෙළද සැල් හිමිකරුගේ බිරිදද එම අවස්ථාවේ වෙළඳසැල තුළ සිට වෙඩි තැබීමත් සමඟ දිව ගොස් බේරී ඇති බව ද පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

මෙම වෙඩි තැබීම රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් මත සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පිටිගල පොලීසිය කියයි. ඩුබායිහි සිටින අයෙකු විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙන බවත් එය ලබා දී ඇත්තේ මෝටර් රථයක් අලෙවි කිරීමෙන් බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පිටිගල පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර   ඇතුළු ඇල්පිටිය, නාගොඩ, බද්දේගම, අම්බලන්ගොඩ, මීටියාගොඩ, කරන්දෙණිය, බටපොල යන පොලිස් ස්ථාන වල නිලධාරීන් පිරිසක්   වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

 

 

 

Exit mobile version