පළමු ශ්‍රේණියේ පන්තියකට සිසුන් 40ක් ගන්නේ ලබන වසරේ සිටයි

අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියයි

පාසල්වල පළමු ශ්‍රේණිය පන්තියකට ඇතුළත් කෙරෙන උපරිම සිසුන් ගණන 40 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණ කර තිබුණද එය මෙම වසරේ ක්‍රියාත්මක කිරීම අපහසු වනු ඇති බවත් ලබන වසරේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කළ හැකි වනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙර්රා ලංකාසරට පැවසීය.

මේ පිළිබඳව කළ විමසීමකදී අදහස් දැක්වූ අධ්‍යාපන ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ මෙම සිසුන් ප්‍රමාණය 35 සිට 40 දක්වා වැඩි කිරීමට අදාළ කැබිනට් මණ්ඩල අනුමැතිය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ලැබුණු බවත් ඒ වනවිට ඇතැම් පාසල්වල සම්මුඛ පරීක්ෂණ පවත්වා අවශ්‍ය සිසුන් සංඛ්‍යාව බඳවාගෙන තිබූ බවත් ඒ හේතුවෙන් ඇතිවිය හැකි ගැටලු අවම කිරිම පිණිස ලබන වසෙර් සිට මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යංශය කටයුතු කරගෙන යන බව ද පැවසීය.

පාසල්වලට පවතින අධික ඉල්ලුම මත පසුගිය කාලයේ පළමු වසර සඳහා සිසුන් බඳවා ගැනීමේදී විශාල ගැටලු ඇති වූ අතර මේ සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාමාර්ගයකි. 2016 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලද තීරණයක් වූයේ 2021 වසරේ සිට පළමු වසරේ සිසුන් ඇතුළත් කර ගැනීමේදි පන්තියකට සිසුන් ප්‍රමාණය 35 ඉක්ම නොවිය යුතු බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මෙම සංඛ්‍යාව ප්‍රායෝගික නොවන බැවින් යළි අධිකරණය හමුවේ මෝසමක් මඟින් කරුණු දැක්වීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළ අතර මෙම සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට අදාළ කැබිනට් මණ්ඩල පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදුව එයට පසුගිය ඔක්තෝබර් මාසයේදී අනුමැතිය ලැබිණි. කෙසේ වුවද මෙය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ලබන වසර දක්වා කල් යනු ඇතැයි ලේකම්වරයා සඳහන් කළේය.

Exit mobile version