පක්ෂවලට වෙට්ටු දමා ඇමතිකම් ගත් අයට වැඩ වරදින බව සජබ සහ ශ්‍රී.ල.නි.ප.ය කියයි!

පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කර ඇමති ධුර ලබා ගත් සමගි ජන බලවේගයේ  සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව වහාම ක්‍රියාත්මකවන  පරිදි විනය පියවර ගන්නා බව   එම පක්ෂ ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ජ්‍යෙෂ්ඨයෙකුගෙන් මේ සම්බන්ධව විමසූ විට ඔහු ප්‍රකාශ කළේ  ඇමතිකම් නොගෙන රජය පවත්වා ගැනීම සඳහා උපරිම සහාය ලබා දෙන බවට එකඟතාවයක් මධ්‍යම කාරක සභාවේ දී ඇති කරගෙන ඒ බව රජයට දන්වා සිටිය දී නිමල් සිරිපාල ද සිල්වා විසින් ගත් මේ අත්තනෝමතික  තීන්දුව සම්බන්ධව පක්ෂයක් ලෙස දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවය.

ඔහු පෙන්වා දෙන්නේ  අද උදේ නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ පක්ෂයට කිසිම දැනුම් දීමකින් තොරව බවය.

“ ඔහු ඊයෙත් අප සමග  පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡා කළා.  එහෙම ඉඳලයි අද උදේ ඇමති ධුරයක දිවරුම් දුන්නේ…“ ඔහු පැවසුවේය.


හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර සම්බන්ධව ගන්නා තීන්දුව සම්බන්ධ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයෙකුගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කලේ නිසැකවම මෙම මන්ත්‍රීවරුන් සම්බන්ධව විනය ක්‍රියා මාර්ගවලට එළඹෙන බවය.

ඔවුන් මෙම ඇමති ධුර භාරගෙන ඇත්තේ පක්ෂයේ සියලු එකඟතා කඩ කර ඒකපාර්ශවීය තීරණයක් ලෙස බව ඔහු  පැවසුවේය.

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්  අග්‍රාමාත්‍යවරයාට ලිඛිතව දන්වා තිබුණේ  ජනතාවගේ යපහත සඳහා ගෙනන ඕනෑම යෝජනාවක් සඳහා සමගි ජන බලවේගය සහාය දෙන බවය. නමුත් තම පක්ෂයේ කිසිවෙක්  ඩැහැ ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ මොහොතේ සිට ආණ්ඩුවට එරෙහි වන බවත් විපක්ෂ නායකවරයා කීවේය.

මේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධව  ඉදිරි දින කිහිපය තුළ  එක් රැස් වී    තීරණයක්  ගන්නා බව ඔහු පැවසුවේය.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනාම ප්‍රකාශ කළේ තීරණාත්මක අවස්ථාවල දේශපාලකයින් විසින්  දේශපාලන පක්ෂවල කොන්දේසි නොතකා ආණ්ඩු පිහිටුවීම සඳහා යම් යම් තීරණ ගත්   ඉතිහාසයක්  අපට ඇති බවය.

මෙයත් කියවන්න….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්ත්‍රින් බිලි බා නොගන්නා තෙක් ආණ්ඩුවට සහය දෙනවා ! සජබ කියයි

 

 

Exit mobile version