නුවර පෙරහර නිමවන තුරු යාචකයින් 24ක් බන්ධනාගාරයේ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



නුවර යාචකයන් 24 දෙනෙක් බන්ධනාගාරගත කර ඇතැයි නුවර පෙරහර කමිටු රැස්වීමේ දී හෙළි වී තිබේ.

එම කමිටු රැස්වීමේ දී පෙරහර සමයේ යාචකයන්ට සිදුවන්නේ කුමක් දැයි විමසූ අවස්ථාවේ මහනුවර නාගරික කොමසාරිස් ප්‍රකාශ කර තිබුණේ යාචකයන් මේ වනවිට බන්ධනාගාරගතව සිටින බවත් පෙරහර නිමා වනතුරුත් ඔවුන් බන්ධනාගාරයේම සිටිනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

පවතින කොවිඩ් තත්වය හමුවේ මහනුවර නගරසභාව විසින් මෙම යාචක පිරිස් අල්ලා පොලිසිය වෙත භාර දී තිබේ. අනතුරුව උසාවියට ඉදිරිපත් කර මෙම පිරිස් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.

එහෙත් නීති අංශ පවසන්නේ 1841 දී බලාත්මක කෙරුණු පාදඩ ( අයාල) ආඥා පණත යටතේ ප්‍රතිපාදන ඇත්තේ යාචකයන් පුනරුත්ථාපනය කිරීමට පමණක් බවය.

පුනරුත්ථාපනයට යැවීමට පෙර සමාජ රෝග හෝ වෙනත් වෛද්‍ය වාර්තාවක් ලබාගන්නේ නම් එම වාර්තා එනතුරු පමණක් ඔවුන්ව බන්ධනාගාරගත කළ හැකි බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව කළ විමසීමක දී දැනගන්නට ලැබුනේ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දැනට යාචකයන් පුනරුත්ථාපනය කරන රිදියගමින් නව පිරිස් කඳවුරට ඇතුළත් කරගැනීම අත්හිටුවා ඇති බවය.

මේ තත්වය තුළ පෙරහර පවත්වා නිමවන තුරු යාචකයන් 24ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීමට සිදු වනු ඇතැයි වාර්තා වේ.

Exit mobile version