නීතිඥ සංගමයට චෝදනා කරන්නේ නීතිඥ සංගමයේ ව්‍යවස්ථාව දන්නෙ නැති අය – සාලිය පීරිස්…

නීතිඥ සංගමය විසින් මෙතෙක් නිකුත් කරන ලද  සියලුම   නිවේදන විධායක සභාවේ අනුමැතිය සහිතව නිකුත් කළ බව නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්   හිරු ප්‍රවෘත්ති සමඟ සාකච්ඡාවකට එකතු වෙමින් පැවසීය.

හදිසි අවස්ථාවන්වලදී සූම් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික් මාධ්‍යය භාවිතයෙන් නිවේදන සඳහා විධායක සභාවේ අනුමැතිය ලබා ගත් බව ද ඔහු සඳහන් කළේය.

විධායක සභාවේ සිටින්නේ ඔහුගේ ගෝලයින් හෝ ඔහු විසින් තෝරා පත් කරන ලද අය නිසා ඔවුන් කටයුතු කරන්නේ ඔහුගේ අභිමතය පරිදි නොවේදැයි මෙහිදී සාලිය පීරිස්ගෙන්    මාධ්‍යවේදියා විමසා සිටියේය.

“නැහැ.. විධායක සභාව පත් කරන්නේ නීතිඥ මණ්ඩල නියෝජිතයන් විසින්. එවැනි චෝදනා එල්ල කරන්නේ නීතිඥ සංගමයේ ව්‍යවස්ථාව පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරන අය.. සභාපතිවරයාගේ මතයට විරුද්ධව විධායක සභාව කටයුතු කරපු අවස්ථා ඕනේ තරම් තියෙනවා..”


සභාපතිවරයා කරුණු පැහැදිලි කරමින් පැවසීය.

ගාලු මුවදොර පිටියේ සිදු වූ පහර දීම සම්බන්ධයෙන් සේම, ඉන් අනතුරුව මැති ඇමතිවරුන්ගේ නිවාසවලට එල්ල වූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් ද සංගමය නිවේදන නිකුත් කළ බවත් කිසිසේත්ම ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බවත් ඔහු පැවසුවේය.

අයථා ලෙස රාජ්‍ය දේපළවලට ඇතුල් වූ අය වෙනුවෙන් නීතිඥ සංගමය ලෙසින් කිසිවෙකු පෙනී නොසිටි නමුත් ඔවුන් වෙනුවෙන් නීතිඥවරු ඉදිරිපත් වූ බව ඔහු සඳහන් කළේය.

එලෙසම විවිධ ආයතනවලින් තමන්ට මුදල් ලැබෙන බවට එල්ල වෙන සියලු චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කළේය. ඇමරිකාවලින් රටේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මුදල් ආධාර ලබා දෙන බවත්, එය තම සංගමයට පමණක් කෙරෙන මුදල් ආධාරයක් නොවන බවත් ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ සභාපතිවරයා සඳහන් කළේ ‘අපි කටයුතු කරන්නේ අපේ ආචාරධර්ම පද්ධතියට අනුකූලවයි. කව්රු හරි චෝදනා කරනවා නම් එහෙම නෙමෙයි කියලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ පැමිණිලි ලැබෙන නීතිඥවරුන් ගැන අපේ සංගමයෙන් වගේම ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් සොයා බලා කටයුතු කරනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ අපි තෙල් ප්‍රශ්න ගැන ආර්ථික ප්‍රශ්න ගැන ප්‍රකාශ නිකුත් කරන්නේ ඒවා මේ රටේ පුරවැසියන් විදියට අපිටත් අදාළ නිසයි. මම කටයුතු කරන්නේ කිසිම දේශපාලනික අදහසකින් නෙමෙයි. මට ඡන්දේ ඉල්ලන්න වුවමනාවක් නෑ..” සභාපතිවරයා අවධාරණය කළේය.

 

Exit mobile version