නිවු ඩයමන්ඩ් කතාව… ගෝඨා ගොඩහේවාගේ නැව් ඉල්ලීම ගැන විජේදාසට ඔව් කියලා ගොඩහේවාට නෑ කියල ද?ද?

මේක පිට්පොකැට් කාරයෙක් අන්න හොරා කියලා අදාල නැති මිනිහෙක් පෙන්නමින් දුවනවා වගේ වැඩක්... ගොඩහේවා විජේදාසට කියයි!

නිවු ඩයමන්ඩ් නෞකාව නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් තිබූ අයුරු

නිවු ඩයමන්ඩ් නෞකාව ලංකාවේ මුහුදු සීමාවෙන් පිටතට  ගෙන යෑම සඳහා තමන්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන්  ඉල්ලීමක් කළායැයි අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් කළ ප්‍රකාශය සම්පූර්ණ සාවද්‍ය හා ද්වේශ සහගත එකක් බවත්, ඊයේ උදේ 11.50ට මේ ප්‍රකාශය ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන්  විමසූ විට ඔහු එවැනි ප්‍රකාශයක් අධිකරණ ඇමතිවරයාට නොකළ බව තමන්ට තහවුරු කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

පෙරේදා (25) අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් පසුගිය 2020 වසරේ සැප්තැම්බර් මස 02 දා නැගෙන හිර ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ගත් නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වන්දි ගැනීමට නොහැකිවන සේ එම නෞකාව ශ්‍රී ලංකා දියඹෙන් ඉවතට යැවීමට නීතිපති උපදෙස් නොතකා, ජනාධිපති ගේ මගපෙන්වීම නොතකා එවකට විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මැදිහත් වී ඇති බවත්    ඒ නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් ඉවතට යැවීම සඳහා එවකට වෙරළ ආරක්ෂක රාජ්‍ය ඇමතිව සිටි නාලක ගොඩහේවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ඇතැයි ඔහු තමන්ට පැවසූ බවත් හෙළි කිරීමෙන් පසුවය.

අධිකරණ ඇමතිවරයා පැවසුවේ තමන් දෙවරක් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා එම කරුණ තහවුරු කරගත් බවය.

නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා  පාර්ලිමේන්තුවේ දී  සඳහන් කළේ පිට් පොකැට් කාරයෙක් පිට් පොකැට් ගැසූ පසු අන්න හොරා යැයි කියමින් වෙන එකෙක් පසුපස පන්නන විටා හොරා පසෙක තබා මිනිස්සුන් හොරා පෙන්නූ පුද්ගලයා පසුපස පන්වන්නා සේ එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකාවල වන්දි සිද්ධි සඳහා ඊට කිසිම අදාලයත්වයක් නැති තමන්ව පටලවා  ගැනීමට අධිකරණ ඇමතිවරයා ගන්නා උත්සාහය   පිට්පකොට් නිරූපණය වන්නේ යැයි සිතන බවය.


මේ පිළිබඳව නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා මෙසේ පාර්ලිමේන්තුවේ දී පැහැදිලි කළේය.

NEW-DIOMEND
නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදුවූ පරිසර හානිය…

“ නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටතට යවන ලෙස  . නියෝගය දීලා තියෙන්නේ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහත්මයා. එම නියෝගය  අධිකරණ ඇමතිවරයා සභාගත කළා.”

“ විදේශ ලේකම්වරයා නාවික හමුදාපතිට ඊ මේල් පණිවිඩය යවනකොට ඒකෙ කියලා තියෙන්නේ මෙහෙම. “

“මේ අනතුරට ලක් වී ඇති නැව මුහුදු සීමාවේ රඳවා ගැනීමේ අනතුරුදායක බව සලකා මුහුද රළු වන්නට පෙර නැව ලංකා මුහුදු සීමාවෙන් ඉවත් කරනා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇත කියා.”

“විජේදාස රාජපක්ෂ මැතිතුමාට මේක මදි. ඔහුට ඕන මේකට මාව පටලවා ගන්න. මම ඒ කාලෙ වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමති. “

“නියෝගය දීලා ඊමේල් තියනවා. එතුමාට මේකෙ ඇත්ත නැත්ත හොයන්න ඕන. ඒ නිසා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඇහුවලු මේ ගැන.

“එතකොට විජේදාස රාජපක්ෂ මහත්තයා කියනවා,  ගරු නාලක ගොඩහේවා මහත්මයත් මේ ගැන ඇහුවලු. නමුත් ජනාධිපතිතුමා කියලා තියනවා කියලා නීතිපති උපදෙස් අරන් තමයි නැව නිදහස් කරන්න ඕන කියලා.”

“වෙන කිසිම සාක්ෂයක් විජේදාස රාජපක්ෂ මහත්තයට නෑ…. මම කිව්වා තියනවා නම් සභාගත කරන්න කියලා.”

“දුරකථන පණිවිඩ අපටත් ගන්න පුලුවන්. මම කතා කළා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඊයේ.   හරියටම උදේ 11.50ට. මම එතුමගෙන් ඇහුවා ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා මෙහෙම කතාවක් කියලා තියනවා. ඒ කතාව ඇත්ත ද කියලා.”

“එතුමා මට කියනවා පිස්සු ද?, මතක නැද්ද ඔය නැව යවනවට ඔයත් පොඩ්ඩක්වත් කැමති වුනේ නෑනෙ කියලා. මමයි කිව්වේ නීති උපදෙස් අරන් කරන දෙයක් කරන්න කියලා විදේශ ලේකම්ටයි  මීප එකේ සභාපතිටයි කියලා. මේක තමයි ජනාධිපතිතුමාගේ මතය.”

“මම කතා කළා ජයනාත් කොළඹගේ මහත්මයාටත්. එතුමා හිටියෙ පිටරක. කතා කළේ දවල් 12.21ට. මොකද එතුමා කිව්වේ.”

“මම දන්නේ නෑ ඇයි ඔවුන් මේ සිද්ධියට ඔබේ නම ඈඳන්නේ කියලා. ඔබ කවදාවත් මේ සිද්ධිය ගැන මට කතා කළේ නෑ කියලා.”

“ඒ නිසා තමයි මා කිවේවෙ මේක සාවද්‍ය ප්‍රකාශයක් කියලා.”

“ජයනාත් කොළඹගේ මහත්තයා මට කිව්වා මේ නැව තෙල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑ දාහක් තිබ්බ තෙල් නැවක්. මේ තෙල් නැවේ බැරිවෙලාවත් හරි තෙල් කාන්දුවක් සිද්ධ වුනා නම් තව අවරුදු 20කටවත් මේ රටට සංචාරකයො ගෙන්වා ගන්න බැරි මහා විශාල හානියක් වෙනවා.  අන්න ඒ නිසා තමයි මේ නැව මුහුදු තීරයෙන් එළියට ගන්න බලධාරීන් තීරණය කළේ කියලා”

“ඕන දේකට හේතුවක් තියනවා. මේක මහා කුමන්ත්‍රණයක් කවුරුහරි කළ මගඩියක් කියලා පෙන්වන්න උත්සාහ කරන්න එපා.”

“එක්ස්ප්‍රස් පර්ල් ගැන අද තියෙන්නේ වන්දි සම්බන්ධයෙන් නීති දෙපාර්තමේන්තුවේ වැඩ ප්‍රමාද විම සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කියන්නේ කවුරුහරි නඩුව ප්‍රමාද කළා ද කියන එක.”

“විජේදාස රාජපක්ෂ මහත්තයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරලා කවුරුහරි කෙනෙක් මේ සම්බන්ධව අල්ලසක් ගත්තා කියලා කිව්වා.”

“අල්ලසක් ගත්තා නම් අල්ලසක් ගන්න ඕන නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්න.  නඩු දාන එක ප්‍රමාද කරන්න. එහෙමනම් ඒක කරන්න පුලුවන් කාටද?”

“නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ කෙනෙකුට. නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක හිතවත් කමක් තියන කෙනෙකුට. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“පිට්පොකැට් කාරයො සමහරවෙලාවට පිට්පොකැට් ගැහුවට පස්සේ හොරා හොරා කියලා අනෙක් මිනිස්සුන්ට අත දික්කරමින් දුවනවා. එතකොට මිනිස්සුත් වෙන මිනිස්සු පස්සෙ එළවන්න පටන් ගන්නවා. මම දන්නෙ නෑ මෙතන තියෙන්නෙත් ඒ වගේ සිද්ධියක් ද කියලා. මට කියන්න තියෙන්නේ මෙපමණයි. “

Exit mobile version