අසේල කුරුළුවංශ –
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අවශ්‍යය බව සියලු දෙනා පිළිගෙන තිබියදී ඒ සම්බන්ධයෙන් පිල් බෙදී තව දුරටත් වාද කරමින් නොසිට නව ප්‍රතිසංස්කරණ ගැටලුවක් ඇති නොවන පරිදි විධිමත් ආකාරයනේ ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනාගේ අවධානය යොමුවිය යුතු බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ යම් යම් වැරදි හා අඩුපාඩු තිබෙන බව රජය පිළිගෙන එය ක්‍රියාත්මක කිරීම වසරකින් කල් දමා තිබෙන්නේ යැයිද උන්වහන්සේ කීහ.
හය වසර අධ්‍යාපන ලබන දරුවන්ගේ දෙමව්පිය සංවිධානයේ නියෝජිත පිරිසක් ඊයේ (20) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේදීම ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් සංදේශයක් පිළිගැන්වූ අවස්ථාවේ මහනාමියෝ මේ බව ප්‍රකාශ කළහ.
එහිදී මල්වතු මහනාමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ යම් වැරදි සිදුව තිබෙන බව අග්‍රාමාත්‍යතුමියද පිළිගෙන හය ශ්‍රේණිය සඳහා වන නව ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබෙන බවත් එසේ තිබියදී මේ වසරේදීම එය ක්‍රියාත්මක කරන්න කියා ඉල්ලීම ප්‍රශ්නයක් බවත් කීහ.
මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය පවා අත්හිටුවා තිබියදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න එපා කියමින් පිරිසක් උද්ඝෝෂණ කරන බවද මහනාහිමියෝ ප්‍රකාශ කළහ.
එක් කොටසක් නව ප්‍රතිසංස්කරණ මේ වසරේදීම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් කරත්දී තවත් කොටසක් එසේ නොකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කරන බවත් මේ රටේ ප්‍රවීණ ආචාර්ය මහාචාර්වරුන්ගේ ද සහය ලබා ගනිමින් නව ප්‍රතිසංස්කරණ විධිමත් ආකාරයෙන් ගැටලුවක් නොවන ලෙස සකස් කර ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් උන්වහන්සේ කීහ.
මෙහිදී එම දෙමාපිය සංසදයේ නියෝජිතයින් මහා නාහිමි හමුවේ පැවසුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව මංමාවත් විවර කරමින් තාක්ෂණය හා එක්ව අනාගතයට උචිත දරුවන් බිහි කරන වැඩපිළිවෙළක් ලෝකයේ ක්‍රියාත්මක වන බවත් අපේ දරුවන්ටද සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව අනාගත ලෝකයට මුහුණ දිය හැකි නව අධ්‍යාපන වැඩපිළිවෙළක් හඳුන්වාදිය යුතුව තිබෙන බවත් ය.
ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්ය බවත් සුළු වැරදි කිහිපයක් ඉදිරිපත් කරමින් දරුවන්ගේ අනාගතය කඩාකප්පල් කිරීම සාධාරණ නොමැති බවත් ඔවුහූ පැවසූහ.
මෙම පිරිස අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන්ද බැහැ දැක සංදේශය බාරදුන් අතර උන්වහන්සේ පවසා සිටියේ මෙයට සම්බන්ධ සියලු දෙනා එක්ව සාකච්ඡා කොට දරුවන්ට උචිත නිවැරදි තීරණයකට පැමිණීම වඩා යෝග්‍යය බවයි.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මෙම සංගමයේ සාමාජික ජනනි තෙල්ලමුරේ පැවසුවේ තම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම සඳහා සහාය නොදෙන ලෙස සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලින් හා සමාජ මාධ්‍යයෙන් ඉල්ලීමක් කරන බවයි.







