නරින්ට කුකුළන් බාරදෙන මහින්දානන්දගේ යෝජනාව ආණ්ඩුවේම උපහාසයට!

පසුගිය සතියේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි රැස්වීමේදී ජීවන වියදම වැඩි වීම සම්බන්ධයෙන් සිදුව ඇති කතා බහේදී සෑම පාරිභෝගිකයකුගේම නිවසට අඩු වියදමින් අත්‍යවශ්‍ය වියළි ආහාර ලබා දීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් යෝජනා කරනු ලැබ ඇති අතර එය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ උපහාසයට ලක්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

එයට හේතු වී ඇත්තේ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසට ලබා දීමේ වැඩපිළිවෙළ ආණ්ඩු පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හරහා බෙදීමේ යාන්ත්‍රණයක් යෝජනා කිරීමය.

එය නරියාට කුකුලන් බාර දීමක් වැනි යෝජනාවක් බවත් ඔවුන් මේවා තම හිතවතුන්ට පමණක් බෙදීමට හෝ වැඩි මුදලකට අලෙවි කිරීමට කටයුතු කරනු ඇති බවට බොහෝ මැති ඇමතිවරු අදහස් පළ කර ඇත.


පසුගිය අඟහරුවාදා පැවැති මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පොදුජන පෙරමුණු අමාත්‍යවරුන් ගණනාවක්ම ජීවන වියදම පහළ දැමීමට රජය අපොහොසත්වීම පිළිබඳව අදහස් දක්වා ඇත.

එහිදී ඔවුන් වැඩිදුර පවසා තිබුණේ රජය උපරිම මිල නියම කළද සහල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳව තම තමන්ගේ ප්‍රදේශවල ජනතාව මැසිවිලි නගන බවය. එහිදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලලිත් ඒකනායක ඉතා දැඩිව මේ තත්ත්වය විවේචනවය කොට ඇත. කෙසේ වුවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසා තිබුනේ සාධාරණ මිලකට සතොස ශාඛා මඟින් ප්‍රමාණවත් තරම් භාණ්ඩ මිලදී ගත හැකි බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා පාරිභෝගිකයන්ට සෘජුවම අඩු මිලට භාණ්ඩ නිවසට ලබා දීමේ ක්‍රමයක් පිළිබඳව යෝජනා කොට ඇති අතර එහිදී ඔහු මැති ඇමතිවරුන් අතර විහිළුවකට ලක් වූයේ මෙම වැඩපිළිවෙළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හරහා සිදු කිරීම සම්බන්ධයෙන් යෝජනා කළ අවස්ථාවේදී ය.

Exit mobile version