දේශපාලකයා එන ගමන් ජපානයෙන් ගේන්න ඉල්ලූ ඇස්ට්‍රාසෙනිකා තොගය අද හෙටම දිවයිනට

බාල සංදර්ශනය නවතී... එන්නත එන කාල වකවානුව යුනිසෙෆ් කාර්යාලය තහවුරු කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවැක්ස් පහසුකම යටතේ ජපානයෙන් ප්‍රදානය කරන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය හැකි ඉක්මනින් මෙරටට ගෙන ඒමට මේ වනවිට අවශ්‍ය කටයුතු යොදා ඇති බව යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රි ලංකා කාර්යාලය සඳහන් කරයි.

එහි සන්නිවේදන උපදේශන සහ සම්බන්ධතා පිළිබඳ ප්‍රධානී බිස්මාක් ස්වැන්ගින් ලංකාසරට ප්‍රකාශ කළේ ජපාන රජයෙන් කොවැක්ස් පහසුකම මත පිරිනමන මෙම ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය මෙරටට ගෙන ඒමට අදාළ ප්‍රවාහන කටයුතු මේ වනවිට සම්බන්ධීකරණය වෙමින් පවතින අතර හැකි ඉක්මනින් ඒවා ගුවන් මගින් ශ්‍රි ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බවය.

කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රි ලංකාවට ජපානයෙන් ලැබෙන මෙම එන්නත් තොගය එක් තරුණ දේශපාලකයකු තමන් විසින් ජපානයෙන් ගෙන ආ බවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරමින් සිටි බව වාර්තා විය. ඔහු ජපානයේ සිට ලංකාවට පැමිණෙන දිනය එන තෙක් එන්නත් තොගය මෙරටට ගෙන්වීම ප්‍රමාද කරවන තත්ත්වයක් පැවති අතර මේ හේතුවෙන් එම එන්නත් ගෙන්වීමේ කටයුතු පමා වූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් සඳහන් කළේය.

මෙම දේශපාලකයා තම ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම සිදු කොට ඇත්තේ බස්නාහිර පළාතේ පන් ලක්ෂ තිස් හත් දහසකට අධික පිරිසක් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත නොහැකිව මාස ගණනක් තිස්සේ අසරණ ව සිටින පසුබිමක් තුළ වීම විශේෂත්වයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාවෙන් සති 8ත් 12ත් අතර කාලයක් තුළ දෙවන මාත්‍රාව ලබා දිය යුතු බවට ප්‍රකාශ වුවද මෙම පළමු එන්නත් මාත්‍රා ලාභීන් දැන් දෙවන මාත්‍රාවෙන් තොරව අවම වශයෙන් සති 15ක් 16ක පමණ ගත කොට ඇති බව සඳහන් වෙයි.

පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණත් පෙන්වා දුන්නේ මෙරට කොවිඩ් හේතුවෙන් මිය යන බොහෝ පුද්ගලයන් එන්නත සම්පූර්ණ වශයෙන් ලබා නොගත් පුද්ගලයින් බැවින් කඩිනමින් එන්නත්කරණය සම්පූර්ණ කිරීමෙන් මරණ වළක්වා ගත හැකි බවය.

එවැනි අවදානම්කාරී පසුබිමක් මත මෙරට බලවත් දේශපාලකයකු විසින් කරන ලද ඉල්ලීම ජපාන රජය මඟින් බැහැර කරනු ලැබ ඇති බව වාර්තා වන අතර ඒ අනුව ජපානයේ ඇස්ට්‍රා සෙනිකා නිෂ්පාදකයා වන ඩයිචි සන්ක්යෝ සමාගමෙන් මෙම එන්නත් තොගය වහා ලබාගෙන ශ්‍රි ලංකාවට එවීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.

ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා ලක්ෂ 14ක් මෙලෙස ඉදිරි දින දෙක තුන තුළ පැමිණීමට නියමිතය.

Exit mobile version