දිස්ත්‍රික් 15කට තද වැසි අනතුරු ඇඟවීම්…ඉන් 11කට රතු නිවේදන….

රත්නපුර ඇල්ලේ දේවාලය අසල නායෙ යෑමකින් පුද්ගලයින් 03ක් අතුරුදන්....

Rain

තුෂාරී කළුබෝවිල – කීර්ති ප‍්‍රනාන්දු –

දිවයිනේ දිස්ත්‍රික්ක 15කට කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරන ලද අතර එයින් දිස්ත්‍රික්ක 11ක් දැඩි අවධානම් තත්ත්වයේ පවතින බවට රතු නිවේදන නිකුත් කර ඇත.

රත්නපුර, කලුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල කලු ගඟ, කැලණි ගඟ හා අත්තනගලු ඔය පිටාර යාම හේතුවෙන් ඒ ආශ්‍රිත පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර ප්‍රධාන හා අතුරු මාර්ග ද නිවාස බොහෝමයක් ද ජලයෙන් යටවී ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ දේවාලය ප්‍රදේශයේ පුද්ගලයන් 3ක් අතුරුදන් ව ඇති අතර පුද්ගලයන් විශාල පිරිසක් විපතට පත් ව, නිවාස හා දේපළ රැසකට හානි සිදු ව තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩට අද (04) අලුයම වන විට මිලිමීටර් 247ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර කලුතර ඉංගිරියට මිලිමීටර් 218.5ක් ද ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායකට මිලිමීටර් 208.7ක ද හොරණට මිලිමීටර් 193ක ද මිනුවන්ගොඩට මිලිමීටර් 173.5ක ද බණ්ඩාරගමට මිලිමීටර් 156.5ක ද යක්කලට මිලිමීටර් 155ක ද වර්ෂාපතනයක් ලැබී ඇත.

ඒ අනුව කලුතර, රත්නපුර හා ගම්පහ දිස්ත්‍රික්කවල ආපදා අවදානම් තත්ත්වය බරපතළ වන අතර සෙසු දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, කුරුණෑගල, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, පුත්තලම, මාතර, කොළඹ, මාතලේ, බදුල්ල, මොණරාගල හා හම්බන්තොට යි.

මෙකී දිස්ත්‍රික්කවල නායයාම් අවදානම් ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවට ද ගංගා, ජලාශ, අතු ගංගා, ඇළ මාර්ග බොහෝමයක් පිටාර ගැලීමෙන් විපත් සිදුවිය හැකි බවට ද අනතුරු ඇඟවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර රත්නපුර ඇල්ලේ  දේවාලය ආසන්නයේ පස් කාන්දක් කඩා වැටීම නිසා පුද්ගලයින් 03ක් අතුරුදහන් වූ බව ආපදා කළමනාරකරණ මධ්‍යස්ථානය පවසයි.  අද (04) අළුයම සිදුවූ නායෙ යෑමේ සිද්ධියත් සමග එම ප්‍රදේශයේ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගනිමින් සිටින බවත් එම මධ්‍යස්ථානය කියයි.

Exit mobile version