දිඹුලාගලින් හමුවූ අවුරුදු 2300ක් පැරණි  ලංකාවේ විශාලතම සෙල් ලිපිය පිටපත් කර අවසන්… සති තුනක් ඇතුළත අන්තර්ගතය ගැන ප්‍රකාශයක්!

මනම්පිටිය නිමල් ජයරත්න –

ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම සෙල් ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බව පුරාවිද්‍යා පරීක්ෂක නිලධාරී තනුර දයානන්ද සඳහන් කරයි.

දිගින් අඩි 50 ක් පමණ සහ උසින් අඩි නමයකින් පමණ යුතු මෙම ශිලා ලේඛනය ශ්‍රී ලංකාවේ දැනට හමු වී ඇති අති දුර්ලභ විශාලතම ශිලා ලේඛනය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්. ජී. රත්නපාල දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත එවූ ලිපියක සඳහන් වේ.

මීට වසර 2300කට පෙර එනම්  ක්‍රිස්තු පූර්ව තුන සහ පලමු සියවස් අතර කාලයේ ලේඛනගත කරන්නට ඇති බවට සැකකරන මෙම සෙල්ලිපිය පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් දැකගන්නට ඇති බවත්, මෙම විශාල විශාලතම සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ සහ    දිඹුලාගල ඉතිහාසය වෙනස් කරන සෙල්ලිපියක් බවට සැකකරන බවදත් පිළිබඳ පර්යේෂණය කරන තනුර දයානන්ද  සඳහන් කරයි.

සෙල් ලිපිය පිටපත් කරමින්…

සැප්තැම්බර් 26 වෙනිදා මෙම සෙල්ලිපිය පිටපත් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර ඉකුත් නොවැම්බර් 18 වැනිදා එම පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බවත්, එහි සඳහන් අක්ෂර කියවීමේ කටයුතු  තනිව සිදු නොකරන බවත්, ඒ සඳහා තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඉතා ඉක්මනින්  කියවා රටට මෙහි තොරතුරු හෙළිදරව් කරන බවත් තනුර දයානන්ද   සඳහන් කරයි.


මෙම අති දුර්ලභ විශාලතම සෙල් ලිපිය මාධ්‍ය මගින් හෙළි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එම සෙල්ලිපිය බැලීමට බොහෝ පිරිස් පැමිණෙන බවත්, කෙසේ වෙතත් එය ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා නොමැතිය අතර මෙම ස්ථානයට පූර්ණ ආරක්ෂාව යොදා පළමුවෙන්ම එම සෙල්ලිපිය ආරක්ෂා කරගත යුතු බවත්, ඉන් අනතුරුව එම සෙල්ලිපිය නැරඹීමේ සඳහා එම ස්ථානයට ලඟාවීමට ගමන් මාර්ගයක්, සහ  පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු ඉතා කඩිනමින් සිදුකරන බවත්  ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනා ධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් අප සමග සඳහන් කළහ.

මහ වැසි මැද පිටපත් කළ ආකාරය…

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 කගෙන් පමණ යුත් කණ්ඩායමක් ඉතාකෙටි කාලයක් තුළ අධික වර්ෂාව මධ්‍යයේ එම විශාලතම සෙල්ලිපිය පිටපත් කිරීමට මැදිහත් වීම පිළිබඳව තමන් වහන්සේගේ විශේෂ ස්තුතිය සහ ප්‍රශංසාව පිරිනමන බව නාහිමියෝ කීහ.

ඉතිරි වැඩකටයුතු ද ඉතා කඩිනමින් අවසන් කිරීමට පුරාවිද්‍යා නිලධාරීන්ගේ සහාය උපකාරය අවශ්‍ය වන බවද රාහුලාලංකාර නාහිමියෝ  සඳහන් කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් එම විශාලතම සෙල්ලිපියේ ලියැවී ඇත්තේ කුමක්ද, එහි ඉතිහාසය මෙන්ම සියලු තොරතුරු සති තුනක් තුළ රටට හෙළිදරව් කරන බවට තමාට පොරොන්දු වී ඇති බව   රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

Exit mobile version