දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝ ලක්ෂ 27 ක් ගොඩගැහිලා

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දිවයිනේ නන් දෙසින් රැගෙන එනු ලැබූ එළවළු කිලෝ ලක්ෂ 27 ක් පමණ අද උදේ 11 වන විට ගොඩ ගැසී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

ඊයේ සවස බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ වෙළෙන්දන් දඹුල්ලට නොපැමිණීමෙන් මෙම එළවළු තොග විකුණාගත නොහැකි තත්වයක් මතුව තිබේ.

ඊයේ දිනය පුරා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් නෙලූ අස්වැන්න දඹුල්ලට රැගෙන විත් තිබේ.


ගොවින් වැඩි වශයෙන්ම අස්වැන්න නෙළා ඇත්තේ ඇඳිරි නීතිය පැවති දින කිහිපයකට පසුව බස්නාහිර පළාතේ එළවළු සඳහා ඇති විය හැකි ඉහළ ඉල්ලුම ඉලක්ක කරගනිමිනි.

රජය කිසිදු සැලසුමක් නොමැතිව, හිතු මනාපයේ ඇඳිරි නීතිය පැනවීමත්, සැපයුම් ජාල කලමනාකරණය සඳහා කිසිදු වැඩපිළිවෙලක් නොමැතිවීමත් හේතුවෙන් මෙම තත්වය උදාවී ඇතැයි රෝහිණි කවිරත්න මහත්මිය පවසයි.

මාර්තු මාසයේ ද රට පුරා ඇඳිරි නීතිය පැනවීමත් සමඟම මාතලේ හා දඹුල්ලේ එළවළු විකුණා ගැනීමට නොහැකිව ගොවින් අන්ත අසරණභාවයට පත් වූහ.

අද දිනයේ ද නැවත එවැනිම තත්වයක් මතුව තිබේ. මාතලේ ආණ්ඩුව පක්ෂය නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙකු මෙම තත්වයට සමනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට දේශපාලන නායකත්වය ලබා දී නොමැති බව මන්ත්‍රීවරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අද දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ තත්වය අතිශයින්ම ඛෙදජනකයි. බස්නාහිර පළාතේ මිනිසුන් එළවළු පළතුරු නොමැතිව, කෑම නැතිව අන්ත අසරණ තත්වයකට පත් වෙලා. දඹුල්ලේ මිනිසුන් එළවළු විකුණාගත නොහැකි තත්වයට පත්වී සිටිනවා. ඉල්ලුම හා සැපයුම කළමනාකරණය කරන්නට රජයට කිසිදු වැඩපිළිවෙලක් නෑ. රාජ්‍ය ආයතන මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටිනවා” යැයි ද මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Exit mobile version