දඩල්ලේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 18ක් තුවාලයි….

එක් බස් රථයක රියදුරුට බරපතල තුවාල.... තුවාල වූ රියදුරු මාර්ග නීති කඩලා...

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

ගාල්ල, දඩල්ල ප්‍රදේශයේදී බස්රථ දෙකක් අද (30) පෙරවරුවේ මුහුණට මුහුණ ගැටිමෙන් සිදු වූ අනතුරින් 18 දෙනෙකු තුවාල ලබා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මාතර සිට පොලොන්නරුව බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අද (30) පෙ.ව 8.00 ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බවද ගාල්ල පොලීසිය කියයි.

දඩල්ල පොදු සුසාන භූමියට මදක් ගාල්ල දෙසට වන්නට සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ 18 දෙනාගෙන් 17 දෙනෙකුගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත් පෞද්ගලික බස් රථයේ රියදුරු පමණක් බරපතල තුවාල ලබා තිබෙන බවත් ගාල්ල පොලීසියේ රථ වාහන අංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. සුළු තුවාල ලැබූ 17 දෙනා තුවාල වලට බෙහෙත් දමාගෙන වෛද්‍ය පරීක්ෂණද කර ගැනීමෙන් අනතුරුව අද (30) දිනයේදීම රෝහලින් නික්ම යෑමට නියමිතව තිබූ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ ගිනිමැල්ලගහ, බද්දේගම පදිංචි කමල් පුෂ්ප කුමාර (35) නැමැති අයයි. මොහුගේ පාද වලට බරපතල හානි සිදුව තිබෙන බව රෝහල් ආරංචි මාරග සදහන් කරයි.


අම්බලන්ගොඩ සිට ගාල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථය තවත් වාහනයකට ඉස්සර කිරීමට මාර්ගයේ දකුණු පසින් ගමන් කිරීමේදී ඊට ඉදිරියෙන් පැමිණි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ ගැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. මෙහිදී පෞද්ගලික බස් රථය මාර්ග නීති කඩකර තිබෙන බව බැලූ බැල්මටම පෙනෙන්නේ යැයි ගාල් පොලීසියේ රථ වාහන අංශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අනතුරට පත් බස්රථ දෙකම මේ වන විට ගාල්ල පොලීසිය බාරයට ගෙන ඇති අතර පෞද්ගලික බස් රථයේ රියදුරු ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් කේ ඩී ද සිල්වාගේ මෙහෙයවීම මත ගාල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච් එල් ජගත් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 

 

 

 

 

 

Exit mobile version