තොණ්ඩමන් වෙනුවෙන් බොරුවට ඇඬුවාද? ඔප්පාරි ගැයුවාද…?

සමාජ ජාල කැළඹූ වීඩියෝව ගැන වෙනත් කතාවක්

මේ දිනවල සමාජ ජාලය අරක් ගනිමින් හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ වියෝව තවමත් නොනැවතී කතාබහට ලක්වෙමින් තිබේ. දේහය ආදාහනය කර අවසන් වුවත් තවමත් ඔහුගේ අවමගුල පුවත් මවමින් සිටියි. ඉන් වැඩිමනක් කියන්නේ හිටපු අමාත්‍යවරයාගේ ගුණ ගායනා නොව, ගෝලීය වසංගතයක රට මුහුණදුන් මොහොතක ප්‍රභූ අවමගුලක් වෙනදා මෙන්ම පිරි රැස්වෙමින් ගැනීම තුළින් මතුව ඇති අතුරු කතා බොහොමයකි.

අවමගුලෙන් පසුව සමාජ ජාලය තුළ උපහාසයට අපහාසයට ලක්වෙමින් තිබෙන වීඩියෝවක් අපිට හමුවුණි. එය ජංගම දුරකතනයකින් පටිගත කර තිබූ එකක් වන අතර එහි තිබුණේ කදු සහිත මාර්ගයක කාන්තාවන් පිරිසක්  තොණ්ඩමාන් මහතාගේ ඡායාරූපයක් ඉදිරිපිට දෙමළ භාෂාවෙන් දෑත් හිසට තබාගෙන වැළපෙන්නාක් වැනි සිදුවීමකි. එය රූගත කරන අයකු වීඩියෝව සූදානම් කර ‘ඇක්ෂන්’ කියූවිට කතුන් පිරිස එම ක්‍රියාව අරඹන අතර ‘කට්’ කී විට අවසන් කර නැගිට යති. අසල සිටින පිරිමින්, දරුවන් මෙම සිදුවීම බලාසිටිති.

මෙය සමාජ ජාලය තුළ හුවමාරු වන්නේ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ව්‍යාජව වැළපෙන කාන්තාවන් පිරිසකගේ වීඩියෝවක් සකසන ආකාරයක් හගවමින් දැඩි විවේචන සහිතව ය. ඇතැමුන් දැඩි ලෙස අදහස් දක්වමින් කියා තිබුණේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් මෙම කාන්තාවන්ට වැළපෙන්නට යැයි කියා එය වීඩියෝවක් ලෙස පටිගත කොට ඔහු වෙනුවෙන් ශෝකවන ජනතාව පිළිබද හැගවීමට උත්සහ කිරීමක් ලෙසයි. තවත් අය පවසා තිබුණේ මෙම කාන්තාවන් මුදල් ගෙවා කරවන ලද්දක් බවයි.


නමුත්, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතීන් අතර අවමගුලකදී සිදුවන බොහෝදෙනෙක් නොදන්නා යම් චාරිත්‍රයක් තිබේ. එය හැදින්වෙන්නේ ‘ඔප්පාරි’ ලෙසයි. එහිදී සිදුවන්නේ මියගිය පුද්ගලයා වෙනුවෙන් ඔහුගේ හෝ ඇයගේ ඥාතී මිත්‍රාදී කාන්තාවන් එක්ව දෑත් ඉහළට ඔසවමින් මියගිය තැනැත්තාගේ ගුණ වැයීම ගායනාවකින් හෝ අදෝනාවක් වැනි විලාප ස්වරයකින් ඉදිරිපත් කිරීමයි. මෙය හිටිවන කවි මෙන් පෙර සූදානමකින් තොරව ගැයෙන්නක් වන අතර එය අලංකාර බවකින් යුක්ත නොවේ. මියගිය පුද්ගලයාට සම්බන්ධ නම්, සිද්ධීන්, ස්ථාන ආදි වචන ද මෙවැනි අවස්ථාවකදී ගායනාවට ඇතුළත් කෙරෙන අවස්ථා ද ඇති බව කියැවේ.  මෙහි අරමුණ වන්නේ ජීවත්ව සිටි කාලයේදී මියගිය පුද්ගලයාගේ ගුණ සිහිපත් කර ඔහුගේ වියෝව පිළිබද කනගාටුව පළකිරීමයි. මෙය ගුණවැයුමක්, ශෝකාලාපයක් හෝ ළතෝනියක් ලෙස වුවද වෙනත් ජාතීන්ට දැකිය හැකි වේ. නමුත් මෙය සැබැවින්ම දෙමළ ජාතීන්ගේ අවමගුල් චාරිත්‍රයකි. කෙසේවෙතත් මෙම චාරිත්‍රය ද මියයමින් තිබෙන්නකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔප්පාරි ගායනාවකදී කතුන් දෑත් ඉහළට ඔසවා විලාප තැබීම, සිය පපුවට ගසමින් වේදනාව පිටකරන ආකාරයක් දැක්වීම හෝ ළතෝනියක ආකාරයෙන් වැයීම මෙතෙක් පැවති සම්ප්‍රාදායයි. ඇතැම් අවමගුල් අවස්ථාවලදී ඔප්පාරි ගායිකාවන් කුලියට ගැනීම ද සිරිතකි. ආරුමුගම් තොණ්ඩමාන් අමාත්‍යවරයාගේ ඡායාරූපය ඉදිරිපිට හිදිමින් සමාජ ජාල තුළ විවේචනයට බදුන් වූ වීඩියෝව ද මෙම චාරිත්‍රය වෙනුවෙන් සකස් කරන ලද එවැනි වීඩියෝවක් විය හැකිය.

Exit mobile version