ලලිත් චාමින්ද –
“පුතා ගැනි අපි ගොඩක් බලාපොරොත්තු තබාගෙන හිටියේ. පුතාට ඉහළට යන්න අපි ලොකු සහයෝගයක් ලබා දුන්නා. අපි හිතාගෙන හිටියේ පුතා විශාල වෘක්ෂයක් වෙලා අපිට සෙවනක් දේවි කියලා. නමුත් ඒ වෘක්ෂය මුලින්ම කපාදැම්මා වගේ දෙයක් වුනේ“ යැයි මාගාල්ල අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලේ පොලිමේ දි ඇතිවු ගැටුමේ දි මියගිය තරුණයාගේ පුංචිඅම්මාවන අම්බිකා උපමාලි කීවාය.
කඩු කිණිසි හා තියුණු ආයුධ වලින් පහරදිමෙන් මෙසේ ඝාතනය කොට ඇත්තේ අක්මිමන උඩුමුල්ලවත්ත, යටගල වංචාවල ප්‍රදේශයේ පදිංචි ඩි.ඩබ්ලිව් අචිර සාලින්ද (24) නැමති කොතලාවල ආරක්ෂක පිඨයේ උපාධිධාරියෙකි.
මාගාල්ල අයි. ඕ.සි. ඉන්ධන පිරවුමහලේ පොලිමේ තිබු වැගන් ආර් කාර් රථයකට ඉදිරියෙන් තවත් කාර් රථයක් ඇතුළුත් කිරීම සම්බන්දයෙන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් දුරදිග යාමෙන් අචිර සාලින්දට සිය ජිවිතයෙන් වන්දිගෙවිමට සිදුවිය.
තරුණයාගේ පුංචි අම්මා අම්බිකා උපමාලි මෙසේද කිවාය.
මේ දරුවා පොඩිකාලයේ ඉඳලා පෙරපාසල් ගියේ මාගේ ළඟ ඉඳලා. ඉගෙනිමට දක්ෂයි. ශිෂ්‍යත්ව විභාගය සමත්වුනා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තමයි ඉගෙනුම ලැබුවේ. සාමාන්‍ය පෙළ විභාගයත් ඉහළින් සමත්වුනා.
2016 වර්ෂයේ දි උසස්පෙළ විභාගයට පෙනී ඉදලා විෂයන් තුනට සම්මාන තුනක් ලබාගත්තා. පසුව කොතලාවල ආරක්ෂක පිඨයට ඇතුළත් වෙලා ඉගෙනගත්තා. උපාධිය ලබාගෙන තිබුණේ. උපාධි ප්‍රදානෝත්සවයට තමයි සහභාගිවෙන්න තිබුණේ.
පුතාගේ තාත්තා රණවිරුවෙක්. ජයසිකුරු මෙහෙයුමේ දි 95 වර්ෂයේ දි ඔහු මියගියා. එතකොට පුතාගේ වයස අවුරුද්දයි මාස දෙකයි. 2015 වර්ෂයේ දි පුතා සාමාන්‍ය පෙළ විභාගය සමත්වෙලා උසස්පෙළ විභාගය සදහා සුදානම් වෙමින් සිටියදි තමයි මව රිය අනතුරකට ලක්වෙලා මියගියේ. මව මිය යනවිට පුතාගේ වයස අවුරුදු 17යි.
අම්මා නැතිවුනාට පසු මම තමයි පුතාගේ වගකිම ගත්තේ. පුතා පුද්ගලික ආයතනයක සේවය කරණවා. ඊයේ (07) තමයි නිවාඩු ලැබිලා ගෙදර ආවේ. යැයි ඇය හැඩු කඳුලින් යුතුව කිවාය.
මියගිය තරුණයාගේ බාප්පාවන කේ සමන්ත මහතා මෙසේ කිවේය.
මියගොස් සිටින්නේ මගේ නංගිගේ පුතා. ඔහු කොළඹ නගරයේ පුද්ගලික රෝහලක සේවය කරණවා. ඊයේ (07) තමයි නිවාඩු ලබාගෙන ගෙදර ආවේ. නිවසේ පැයක් පමණ ඉදලා තියෙනවා. පුතාගේ යාලුවෝ ඉඳලා තියෙනවා තෙල් පොලිමේ. පුතා තෙල් පොලිමට ගිහින් තියෙනවා. එතනදි තමයි ගැටුමක් ඇතිවෙලා පුතාට පහරදිලා තියෙන්නේ.
බලහත්කාරයෙන් කාර්රථයක් තෙල් පොලිමට ඇතුළු කිරීම නිසා කථාබහක් ඇතිවෙලා තියෙනවා. එම කාර්රථයේ පුද්ගලයාගේ හිතවතුන් පිරිසක් කඩු කිණිසි අරගෙන ඇවිත් තමයි පුතාට පහරදිලා තියෙන්නේ. පුතාගේ අයියා මේ අයට කැම අරගෙන ඇවිත් තියෙනවා .ඒ අවස්ථාවේ ඔහුටත් කඩුවකින් පහරදිලා ගෙල තුවලා වෙලා රෝහලේ ප්‍රථිකාර ලබනවා. “
“පුතාගේ තව මිතුරෙකුගේ අත කැපිලා රෝහලේ ප්‍රතිකාර ලබනවා. විස්සක් පමණ පිරිසක් ඇවිත් පුතා තනිකරලා තමයි පහරදිලා තියෙන්නේ. මම එම ස්ථානයට යනවිට පුතා වැටිලා ඉන්න කොට ලොරියකින් තමයි රෝහලට අරගෙන ගිහින් තියෙන්නේ. රෝහලට රැගෙන යනවිටත් පුතා මියගිහින්“ යැයි සමන්ත කිවේය.
තෙල් පොලිමක සිදුවු පළමු ඝාතනය මෙය වන අතර මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරුවන් කිහිපදෙනෙකුත් ඝාතනය සිදුකිරීම සඳහා යොදාගනු ලැබු කඩුකිණිසි සමග අත්අඩංගුවට ගෙන ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.
ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති දුමින් කුමාර ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.