මනම්පිටිය නිමල් ජයරත්න –
අප මොන තිරිසනුන්දැයි අපෙන්ම විමසිය යුතු කාලය එළඹ ඇතැයි විශ්වාස කරමි. වන සතෙකුගේ මුව තුළ බෝම්බ පුපුරුවා විඳිය හැකි අපා වද දී මරා දැමීමට සිතක් පහළ වන කාලකණ්ණියෙක් වේ නම් ඒ පාහරයා මේ ලෝකයේ මොනම ජීවී පරාණයක් ලෙසවත් ජීවත් විය යුතු නැත.
මේ වැටී වේදනා විඳිමින් මරණය එන තෙක් බලා සිටින්නේ හතලිස් වියැති අලි අම්මා කෙනෙකි. ඇය දරාගත නොහැකි වේදනාවෙන් කෑමක් බීමක් ගත නොහී බිම පතිතව ඉන්නේ පොලොන්නරුව වැලිකන්ද මෛත්‍රීගම ගම්මානයේය. මේ අම්මා වේදනා විඳිමින් මරණය එන තුරු බලා සිටින්නේ පාහරයෙක් විසින් ලබා දුන් හක්ක පටස් බෝම්බයක් මුව තුළ පිපිරී යෑමෙනි.
පණ අදින ඇය අසල ඇගේ දරු පැටියා සිටී. ඒ අලි සිඟිත්තා දෙස බලන්න. ඒ ළදරු සිඟිත්තා සිය මව වේදනාවෙන් පණ අදින මොහොතේ ඇය අත් නොහැර ඈ අසල ගැවසෙමින් ඇත්තේ කොයි මොහොතේ හෝ ඇය නැගිටිනු ඇතැයි අපේක්ෂාවෙනි. අම්මලා දරුවන් අත් නොහරිනවා සේම ළදරුවෝ මව් ඇකයෙන් බිමට නොබසිති. උන්ගේ ප්‍රාර්ථනාව අම්මලාය.
මෙවැනි තුච්ඡ අපරාධ කරන කාලකණ්ණින් සහිත මේ රටට සාප නොවේ නම් පුදුමය.
අසාධ්‍ය තත්ත්වයේ සිටිනා ඇතින්නට හෙට දිනයේ ප්‍රතිකාර කිරීමට නියමිත බද වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන් කරති. එහෙත් එය ප්‍රායෝගික නොවන බව අපි අත්දැකීමෙන් දනිමු. හිත හදා ගැනීමට ඒ උත්සාහය හොඳය.
අපි මෙන්ම මේ වන අලි ද ඉපදී ඉන්නේ වැරදි රටක බව ලියා තැබිය යුතුය.