තමිල්නාඩු මිත්‍රවරුනි… මා සාමාන්‍ය මිනිසෙක් සේ හිතන ශ්‍රී ලාංකික ද්‍රවිඩයෙක්…

මුරලි තමිල්නාඩු විරෝධතා කරුවන්ට පිළිතුරු දෙයි...

Muththayiya-Muralidharan

මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව රැගත් මුරලි ‘800’ චිත්‍රපටයට එරෙහිව විරෝධතාවය දක්වන තමිල්නාඩු වැසියන්ට මුරලි ඊයේ (17) කදිම පිළිතුරක් දුන්නේය.

මුරලිගේ චරිතය රූපණය කරන්නේ විජේ සේතුපතිය. මේ වනවිට තමිල්නාඩු වැසියන්ගෙන් බරපතලම විරෝධය මතුවී තිබෙන්නේ ඔහුට ය. ඔවුන් කියා තිබුණෙ  එල්.ටී.ටී. ඊ යුද්ධය අවසන් වු දවස  තම ජීවිතයේ සතුටුම දවස බවට පැවසු මුත්තයියා මුරලිදරන්ගේ  චරිතය රඟ දැක්වීමට විජේ ලජ්ජා විය යුතු බවය.

විවේචන හමුවේ සිය මතය නොවෙනස්ව ඉදිරිපත් කරන මුරලි    චිත්‍රපටය සමග පැන නැගී ඇති මතභේදය සම්බන්ධව තමා අදහස් බෙදා ගැනීමට කැමැති බව දක්වා තමිල්නාඩුවේ විරෝධතා කරුවන්ට මෙසේ දන්වා තිබුණේය.


2019 වසරේදී මා පැවසුවා මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම වසර 2009 බව. නමුත් මිනිසුන් කියන්නේ දෙමළ ජාතිකයන් ඝාතනය කළ වර්ෂය මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම වසර බවයි. ඒක වැරදි වැටහීමක්.

සාමාන්‍ය මිනිසෙකුගේ දෘෂ්ටි කෝණයෙන් සිතන්න. මම හැදී වැඩුණේ යුද සමයේදී. ඒ කාලයේදී ඊළඟට කුමක් සිදුවේදැයි අපි දන්නෙ නෑ. පාසලේ මාගේ ක්‍රීඩා සහයකා ඊළඟ දවසේ සෙල්ලම් කිරීමට එයිද දන්නෙ නෑ. එවැනි තත්ත්වයක් යටතේ තිබුණ යුද්ධයක් තමයි අවසන් වුණේ. පොදු පුරවැසියකු ලෙස මම ආරක්ෂාව ගැන සිතුවා.

ඒ වගේම පසුගිය වසර 10 තුළ දෙපාර්ශ්වයේම ජීවිත හානියක් සිදුවී නැහැ. 2009 වසර මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම වසර බව මා සිතුවේ එබැවින්. අහිංසක මිනිසුන් ඝාතනය කිරීම කිසි විටෙකත් මම අනුමන කර නොතිබූ අතර අනාගතයේදීද එවැනි දෙයක් වෙයි කියලා හිතන්නෙ නැහැ.”

මේ අතර 800 චිත්‍රපටයේ විවේචන අතර මුරලි දෙමළ ජාතිකයකු වුවද ඔහු දෙමළ භාෂාව කතා නොකරන අයෙක් බවටද හංවඩු ගසා තිබුණි. “මගේ රටේ සුළුතර පිරිසක් තමයි දෙමළ ජාතිකයන් ඉන්නෙ. ඒක සත්‍යයක් වගේ ස්වාභාවිකයි. මගේ දෙමව්පියන්ද එම මානසිකත්වයම බෙදාගෙන තියෙනවා. මම වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් තමයි ක්‍රිකට් කණ්ඩායමට අත්‍යඅවශ්‍ය පන්දු යවන්නෙක් වුණේ. කොහොම වුණත් ශ්‍රී ලාංකික ජනතාව කිසිදු ජාතියකට කිසිදු වෙනසක් පෙන්වන්නෙ නැහැ. මම හොඳින් දෙමළ භාෂාව කතා කරනවා. මම දෙමළ අධ්‍යාපනය ලබා තියෙන නිසා මට කතා කරන්න බැරි වෙන්න හේතුවක් නැහැ.” යනුවෙන් මුරලි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

“මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වු නිසා මාව වැරදියට වටහා ගන්න එපා. මම ඉන්දියාවේ උපත ලැබුවා නම්, මම ඉන්දීය ජාතික කණ්ඩායමේ සාමාජිකයකු වීමට උත්සහ කරනවා. මම ශ්‍රී ලාංකික ද්‍රවිඩයෙකු ලෙස ඉපදීම වැරදිද?. මගේ ජීවිතය නොදන්නා අය, නොදැනුවත්කමින් සහ ඇතැම් දේශපාලන හේතු නිසා මාව දෙමළ ප්‍රජාවට විරුද්ධ පුද්ගලයකු වශයෙන් චිත්‍රයක් හදන්න හදනවා. ඒක මට වේදනාවක් ගෙන දෙන කරුණක්. මගේ විරුද්ධවාදීන් සන්සුන් නොවනු ඇති. නමුත් මා ගැන ඇත්තේ අසත්‍ය ප්‍රවෘත්ති පමණයි. ඒ නිසා තමයි මම මේ පැහැදිලි කිරීම කරන්නෙ.”

මුරලි එසේ පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුරලිදරන් මේ වන විට අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අදාළ පිළිතුරු ලබාදීමට කටයුතු කළේය. කෙසේ වෙතත් ලබන ජනවාරි මාසයේදී 800 චිත්‍රපටයේ රූගත කිරීම් ඉන්දියාව, ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඔස්ටේ්‍රලියාව කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත අතර 2021 වසරේ අග භාගය වන විට එළිදැක්වීමට නියමිතව තිබේ.

Exit mobile version