ටෙම්පරි ජනාධිපති පොඩි උද්ඝෝෂණයකිනුත් තිගැස්සෙන බය ගුල්ලෙක් – ටිල්වින් සිල්වා

මර්දන අවිය අතටගන්නේ ශක්තිමත්කම නිසා නෙවෙයි... දුර්වල බියගුළු නිවටකම නිසා....

රනිල් වික්‍රමසිංහට පිං ජනාධිපති තනතුර ලැබුණු පසු රාජපක්‍ෂවරුන්ගේ වුවමනාව අනුව දිගින් දිගටම උද්ඝෝෂණවලට පහරදෙමින් ජනතාව මර්දනය කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන බවත් කුඩා උද්ඝෝෂණයකටත් බියෙන් මර්ධන අවිය අතට ගන්නේ ශක්තිමත් නායකයින් නොව බියගුල්ලන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (31) කොළඹ දි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී ප්‍රධාන ලේකම්වරයා මෙසේ ද පැවසීය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සමකාමී උද්ඝෝෂණයකට පහරදී එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ඉන්නවා. එයට විරෝධය පළකරමින් ශිෂ්‍යයන් හා වෘත්තීය සමිති සන්ධානය එකතුව පැවැත්වූ උද්ඝෝෂණයටත් ඊයේ (30) පහර දුන්නා. මර්දනය නවත්වන්න කියලා ගෙනයන උද්ඝෝෂණවලටත් පහර දෙනවා නම් ජනාධිපතිගෙන් අපි අහනවා සාමකාමී උද්ඝෝෂණය කරන්න ජනතාවට තිබෙන අයිතියට මොකද වෙන්නේ කියලා.

ඊයේ පැවැත්වූ උද්ඝෝෂණය මර්දනය කරන්න පටන් ගත් මොහොතේම විශාල පොලිස් බලඇණියක් යොදවා 28 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන අදහස් පළ කිරීමේ, සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය වාරණය කරන්න පොලිස් නිලධාරි මහත්වරුන් අධිකරණයට ගිය අවස්ථාවල ඒ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළා. සාමකාමී නොවන ක්‍රියා සිදුවුණහොත් අත්අඩංගුවට ගතහැකි බව අධිකරණය තීන්දු කළා.

රනිල් වික්‍රමසිංහ රාජපක්‍ෂවරුන්ගේ කැමැත්ත ඉටු කරන්නත් ඔහුට තිබෙන තරහ පිරිමහ ගන්නත් උද්ඝෝෂණයක් පටන් ගන්නා විටම පහර දෙනවා. නීතිවිරෝධීව මේ උද්ඝෝෂණවල සිදුවුණේ මොනවාදැයි පොලීසිය නිලධාරීන්ට උසාවි ගානේ රස්තියාදුවී අනාගතයට බාධා ඇතිකර ගැනීමයි සිදුවෙන්නේ.


සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීමේ, අදහස් පළ කිරීමේ අයිතියට ගරු කරන්න කියලා ආණ්ඩුවට අපි අවධාරණය කරනවා. මහින්ද රාජපක්‍ෂලා විපක්‍ෂයේ ඉන්න කාලේ ඒ අයිතිය පාවිච්චි කළා. රනිල් වික්‍රමසිංහලත් එහෙම කළා. තමන් විපක්‍ෂයේ ඉන්නකොට උපයෝගී කරගත් අයිතියක් ආණ්ඩු බලය ගත්තාම නීතිවිරෝධී වෙනවා නම් ඒක බරපතල තත්වයක්. මේ මර්දනකාරීත්වය වහාම නවත්වන්න කියලා අපි නැවතත් බල කරනවා.

ඊයේ දවසේ පොලීසිය සමග අඩුම ගානේ සංවාදයක්වත් සිදුවුණේ නැහැ. පොලිසියෙන් අවවාදයක්වත් දුන්නේ නැහැ. විරෝධතා පෙළපාලියෙන් පස්සේ රැස්වීමක් පවත්වලා විසිර යන්නයි සූදානම් වුණේ. මිනිස්සුන්ගේ විරෝධය යට කිරීමෙන් රාජපක්‍ෂලාට විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහලාටත් සිදුවෙන්නේ යන එනමං හොයාගන්න බැරිවීමයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් රඳවාගෙන සිටින සියලු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කරන්න කියලා අපි බල කරනවා.

රනිල් වික්‍රමසිංහට ටෙම්පරි ජනාධිපතිකම නිකං ලැබෙන්නේ. ජනතා නැගිටීමට අදාල හේතු සොයා බලලා විසඳුම් ලබාදෙන්න රනිල් වික්‍රමසිංහලාටත් බැහැ. විසඳුම් සොයනවා වෙනුවට ප්‍රශ්න වැඩි කිරීමයි කරන්නේ.   තාවකාලිකව නතර වුණු ජනතා විරෝධයන් නැවත එන බව රනිල් වික්‍රමසිංහ දන්නවා. ඒ විරෝධයන් පටන් ගෙන ගෝඨාභය රාජපක්‍ෂට සිදුවුණු දේයම සිදුවිය හැකි බව රනිල් වික්‍රමසිංහ දන්නවා. ඒ නිසා උද්ඝෝෂණ පටන් ගන්නකොටම නවත්වන්න උත්සාහ කරන බව අපට පැහැදිලියි.

උද්ඝෝෂණ කිරීමට ජනතාවට බලකරන සමාජ ආර්ථික දේශපාලනික සාධක වෙනස් කළ යුතුයි. අපේ රටේ සාමාන්‍ය ජනතාව පාරට බහින්නේ ඊට පොළඹවන ප්‍රශ්නවලට ආණ්ඩුව උත්තර නොදීමෙන්. මර්දන අවිය අතටගන්නේ ශක්තිමත්කම නිසා නෙවෙයි. දුර්වලකම නිසයි. රනිල් වික්‍රමසිංහගේ නිර්භීතකම නෙවෙයි, නිවටකමයි. මේවා නිවට, බියගුළු වැඩ. ශක්තිමත් ආණ්ඩු උද්ඝෝෂණවලට බය නැහැ. ආණ්ඩුව දුර්වලයි නම් පොඩි උද්ඝෝෂණවලටත් බය වෙනවා. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා දුර්වලකම් වැඩිකරලා තියෙන්නේ. රනිල් විරෝධී පිරිස් හැදූ ආණ්ඩුව රනිල් ගත්තාට පස්සේ තවත් දුර්වල වෙලා තියෙන්නේ. උද්ඝෝෂණ එනවට රනිල් වික්‍රමසිංහ බයයි. අරගලයේ හිටි අය හොය හොයා දඩයම් කරනවා නම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරනවා නම් මේ තත්වයන් නවත්වන්න ඉන්නේ ජනතාවයි.

ඒ නිසා අපි ජනතාවට කියන්නේ ආණ්ඩුවට මේ විරාමය නොදිය යුතු බවයි. මේ ආණ්ඩුව පරාජයට පත්කිරීමෙන් තොරව බේරන්න බැහැ. මෙවැනි දුෂ්ඨ, අසමත් බියට පත්වුණු, තිගැස්සුණු ආණ්ඩුවකින් ජනතා අයිතීන් දිනාගන්න බැහැ. මර්දනය නවත්වන්නේ නැහැ. දැනටමත් ලංකාවට   මානව හිමිකම් නඩු කිහිපයක් වැටිලා තියෙනවා. ලබන මාසේ ජිනීවාවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රැස්වෙනවා. ඉතිහාසයේ පළවැනි වතාවට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් කොමිසම ඉදිරියට ගිහින් මර්දනය නවත්වා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා විශාල බලපෑමක් කරනවා.

ඉතාම කුඩා උද්ඝෝෂණයකින් පවා වැටෙයි කියන බයක් ආණ්ඩුවට තියෙනවා. මේ ආණ්ඩුවට කරුණු කියලා, බල කරලා බේරන්න බැහැ. ආර්ථික අර්බුදය ජනතාව පිට පැටවීමට විරුද්ධව සටන් කරන ජනතාව මර්දනය කරන්න උත්සාහ කරන ආණ්ඩුව හැකි ඉක්මනින් පරාජය කරන්න ඕනෑ.

ඒ නිසා ජනතාව මත බර පැටවීමට සහ මර්දනකාරීත්වයට එරෙහිව රාජපක්‍ෂලා ගිය පාරේ යන රනිල් වික්‍රමසිංහලාට රට පාලනය කිරීමේ ජන වරමක් නැහැ. ඒ නිසා ඉක්මනින්ම මැතිවරණයක් දිනාගෙන මනුෂ්‍යත්වය තියෙන, මානව හිමිකම් රකින ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් හදන්න ඕනෑ. ජනතාව මර්දනය කරමින් යන ආණ්ඩුව පළවා හැරීම විතරයි අපිට ඉතිරිවී තිබෙන්නේ.

රනිල් වික්‍රමසිංහ යහපාලනයේ, ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය හැටියට පෙනී සිටි වෙස්මුහුණ ගැලවිලා. දැන් ම්ලේච්ඡ ගෝත්‍රික ලක්‍ෂණ ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය එයාම ගලවාගෙන තිබෙනවා. ජනතාව මර්දනය කරමින් ඉතිරි කාලය ඉන්න බලන ආණ්ඩුව පළවා හැරීම විතරයි අපිට තියෙන්නේ. මර්දනය නිසා ජනතාවගේ වෛරය දැඩිවීම විතරයි සිදුවී තිබෙන්නේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගෝර්කි කීවා වගේ ලේ සාගරයක ගිල්වලා සත්‍යය මරා දාන්න බැහැ. ආණ්ඩුව මර්දනය නවත්වන ලෙස අවධාරණය කරන අතර බිය නොවී පෙරට එන ලෙස ජනතාවට ආරාධනා කරනවා.

Exit mobile version