ඥාතීන් අඳොනා නගද්දි මීගමුව රෝහලේ  මෝචරියට යැවූ මිනියට පණ ඇවිත්

රෝගියා මිය ගිය බව නිගමනය කළ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයාට විනය පරීක්ෂණයක්....

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් විසින්  මියගොස් ඇතැයි නිගමනය කර මෝචරියට යැවූ පුද්ගලයෙකුට  මෘත ශරීරාගාරයේ දී පණ ඒමේ සිද්ධියක් ඊයේ (09) වාර්තා විය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

 මීගමුව දුන්ගාල්පිටිය මැදපිටිපන පදිංචි 40 හැවිරිදි ධීවර කාර්මිකයෙක් බරපතල රෝගී තත්වයකට  ප්‍රතිකාර ගැනීම සඳහා   ඊයේ (09) පෙරවරුවේ මීගමුව දිස්ත්‍රික් මහරෝහලට  ඇතුළත් කර ඇත.


එහිදී රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා රෝගියා පරීක්‍ෂා කර බලා ඔහු මියගොස් ඇති බවට නිර්දේශ කර  රෝගියාගේ දේහය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර ඒ පිළිබඳව රෝහල් පොලිසියට දැනුම්දී ඇත.

රෝහල් පොලිසියෙන් ලත් තොරතුරු අනුව  රෝගියාගේ ඥාතීන් රෝහල් මෘත  ශරීරාගාරයට පැමිණ රෝගියාගේ ශරීරය අල්ලමින් අඳෝනා නැගීමට පටන්ගෙන තිබේ. එහිදී එක්වරම රෝගියා අත එසවූ නිසා ඔහු මියගොස් නැති බවට ඔවුන් කෑකෝගසා ඇත.

පසුව වහා රෝගියා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රෝහලේ 4 වාට්ටුවට ඇතුළත් කර තිබේ. මූලික වෛද්‍ය පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ රෝගියා සීනි අඩුවී කෝමා තත්ත්වයට පත්වී සිහිසුන්වී සිටි බවයි. මෙම රෝගියා පරීක්‍ෂා කර ඔහු  මියගියේ යැයි නිගමනය කර රෝහල් මෘත ශරීරාගාරය වෙත යැවූ වෛද්‍යවරයා සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයා විනය පියවර ගැනීමට කටයුතු කරන බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 – දිවයින –

Exit mobile version