ජාතික රොහලේ වෙනුවෙන් සැපයුම්කරු සපයන ආහාර ද්‍රව්‍ය නුසුදුසු නම් ප්‍රතික්ෂේප කිරීමේ පූර්ණ අයිතිය රෝහල් බළධාරීන් සතුයි…

ශ්‍රියානි විජේසිංහ –                                                

කොළඹ ජාතික රෝහලේ ආහාර සැපයුම්කරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවත් නුසුදුසු ආහාර ද්‍රව්‍ය රෝහලට සපයන්නේ නම් එම ආහාර ප්‍රතික්ෂේප කිරීමේ සම්පූර්ණ අයිතිය රෝහල් බලධාරීන් සතුවන බවත්  සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ප්‍රසම්පාදන)  වයි.එල්.එම්. නවාමි   සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කළේ කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට කෑමට  නුසුදුසු ආහාර සපයන බවට මාධ්‍ය තුළ පල වූ වාර්තාවක් සම්බන්ධයෙන් ලංකාසර කල විමසුමකදීය.

එම වාර්තාව සම්බන්ධයෙන් අදාල සැපයුම්කරුගේ ආහාර පිලිබඳව සොයා බලා වහාම වාර්තාවක් ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කරන මෙන් තමා නිලධාරීන්ට උපදෙස් දුන් බවද හෙතෙම පැවසුවේය.

රෝහලේ දහවල් ආහාරවේල පිසීමට අවශ්‍ය ද්‍රව්‍ය එදින් උදෑසන ලබා දිය යුතු අතර රාත්‍රී ආහාරය සඳහා ආහාර ද්‍රව්‍ය  ලබා දීම සිදුකළ යුත්තේ දහවල් කාලයේදී බවත් පෙන්වා දෙන අතිරේක ලේකම්වරයා යම් හේතුවකින් ආහාරයට සුදුසු නැති ද්‍රව්‍යයක් තිබෙන්නේ නම් එය ප්‍රතික්ෂේප කර සුදුසු ආහාර ද්‍රව්‍ය පැයක් තුළ රෝහලට ලබා දිය යුතු බව ටෙන්ඩර් පටිපාටියේ  සඳහන් කර ඇති බවද පැවසුවේය.


තොග ලෙස ආහාර ද්‍රව්‍ය තබා ගැනීමටක් කිසිවිටකත් සිදු නොකරන බවද ඔහු පැවසීය.

සැපයුම්කරුවන් ලබා දෙන ආහාර පිළියෙළ කිරීමට පෙර හොඳින් පරීක්ෂා කර බැලීමට රෝහලේ මහජන සෞඛ්‍ය පරික්ෂක, ආහාර පරික්ෂක, පෝෂණවේදීන් ඇතුලු කණ්ඩායමක් දෛනිකව කටයුතු කරන බවත් ඔවුන්ගෙන් මෙතෙක්  සැපයුම්කරු සපයන ආහාර  සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ ජාතික රෝහලට ආහාර සැපයු සැපයුම්කරුවන් දෙදෙනෙකු නිසි ප්‍රමිතියෙන් යුතු ආහාර නොසැපයීම හේතුවෙන්  මීට පෙර ඉවත්  කර නව සැපයුමකරු ටෙන්ඩර් පටිපාටිය මගින් තෝරා ගත් බවත් ඔහු පිලිබඳවද යම් ලිඛිත පැමිණිල්ලක් ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් පරික්ෂා කර බලා ඔහුවද ඉවත් කිරීමට පසුබට නොවන බවද අතිරේක ලේකම්වරයා පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් 4000ට පමණ දෛනිකව ආහාර ලබා දීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය ලක්ෂ 700ට අධික මුදලක් වාර්ෂිකව ආහාර සැපයුම්කරුවන්ට ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

Exit mobile version