ජාත්‍යාන්තර නාවුක මාර්ගය ලංකාවෙන් දුරස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය විරෝධය පල කරයි!

ජාත්‍යන්තර නාවුක ගමනාගමන මාර්ගය දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 15 කින් දුරස් කරන්නැයි, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය කරන ලද යෝජනාවට එකඟ නොවන බව ශ්‍රී ලංකා රජය එම සංවිධානයට දැනුම්දී තිබේ.

නිල් තල්මසුන් ආරක්ෂා කරගැනීම සහ කුඩා නාවික යාත්‍රාවල ගැටී සිදුවන අනතුරු සම්බන්ධව කළ සමාලෝචනයකින් පසු  ජාත්‍යාන්තර සමුද්‍රීය සංවිධානය මෙම යෝජනාව ගෙනැවිත් තිබිණි.

කෙසේ වෙතත්  ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ ලබන මාසයේ පැවැත්වෙන එම සංවිධානයේ 80 වෙනි සැසිවාරයේ න්‍යාය පත්‍රයෙන් මෙම යෝජනාව පිළිබඳ සාකච්ඡාව ඉවත්කරන ලෙසය.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ 80 වෙනි සැසිවාරය ලබන මස 03 වෙනිදා සිට 07 වැනිදා දක්වා එක්සත් රාජධානියේදී පැවැත්වීමට නියමිතව තිබේ.


ජාත්‍යාන්තර සමුද්‍රිය ගමන් මාර්ගය ශ්‍රි ලංකාවෙන් දුරස් කිරීම සඳහා වූ යෝජනාව සාකච්ඡාවට ගැනෙන මෙම සැසියට ශ්‍රී ලංකාවෙන්ද විශේෂ කණ්ඩායමක් සහභාගී වීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය ගෙන එන මෙම යෝජනාවට  තල්මසුන් පිළිබඳ ජාත්‍යන්තර කොමිසම, නෞකා ගමනය පිළිබඳ ජාත්‍යන්තර මණ්ඩලය, නැව් හිමිකරුවන් නියෝජනය කරන බිම්කෝ සංවිධානය  නිදහස් තෙල් ප්‍රවාහන නෞකා හිමිකරුවන්ගේ ජාත්‍යන්තර සංවිධානය ඇතුළු සංවිධාන 8 ක්  මෙම යෝජනාවට සම අනුග්‍රහය දක්වයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රජය තමන් මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් යොමුකළ බවත් ඊට එකඟ වීමට නොහැකි බවත් එම සංවිධානයට නිල වශයෙන් දැනුම්දී  තිබේ.

අදාළ කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි   ප්‍රකාශ  කර ඇත.

පසුගිය 09 වෙනිදා සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

විශාලතම නාවික ගමනාගමන මාර්ගයක් වන නැගෙනහිර හා බටහිර නාවික මාර්ගය වැටී ඇත්තේ දෙවුන්දරට නාවික සැතපුම් 12 ක් තරම් සමීපයෙනි.

 

දළ වශයෙන් මේ නාවික මාර්ගයේ අපේ රටට සමීපව වෙළෙඳ නෞකා පමණක් වර්ෂයකට හතළිස් දහසකට අධික ප්‍රමාණයක් යාත්‍රා කරයි.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය හෙවත් IMO  නව යෝජනාව වී ඇත්තේ දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් පහෙළාවකින් ඔබ්බම මෙම ගමන් මාර්ගය ස්ථාපිත කළ යුතු බවයි.

එසේ වුවහොත් කොළඹ වරායේ සිට නාවික සැතපුම් 76 ක් දක්වාත් ගාලු වරායේ සිට නාවිත සැතපුම් 21.6 ක් දක්වාත් හම්බන්තොට වරායේ සිට නාවික සැතපුම් 26.9 ක් දක්වාත් නව ජාත්‍යන්තර නාවික මාර්ගය දුරස් වනු ඇති.

මේ අතර ලොව ප්‍රධාන නෞකා සමාගමක් වන මෙඩිටර්රේනියන් ෂිපින් කම්පැණි හෙවත් එම්එස්සී සමාගම දැනටමත් මෙම ප්‍රධාන මුහුදු මාර්ගයෙන් නාවික සැතපුම් 15 ක් ඔබ්බෙන් යාත්‍රා කිරීමට තීරණය කර තිබේ.

ඔවුන් සෙසු සමාගම්වලින් ද ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වඩාත් දකුණු දෙසින් විකල්ප මාර්ග තම ගමනාගමන කටයුතු සඳහා භාවිත කරන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිවුස් ෆස්ට් –

Exit mobile version