ජලාශ සහ බලාගාර විකුණා මහජන උපයෝගීතා කොමිසමත් අහෝසි කරන ඇමතිගේ පනත ගැන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති හෙළි කරයි…

Janaka-Rathnayake

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක...

විදුලිබල හා බලශක්ති ඇමතිවරයාගේ නිර්දේශ පරිදි පත් කළ කමිටුවක් විසින් ලංකා විදුලි බල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත්, සමාගම් 14කට පවරා,  මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමේ කොන්දේසි ද සහිත   යෝජනාවලියක් සහිත විදුලි බල ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතක් සකස් කර ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක   ප්‍රකාශ කරයි.

මේ පනත් කෙටුම්පත හරහා ජලාශ ඇතුළු සියලුම බලාගාර සමාගම් යටතට පත්වන අතර ජලය මුදා හැරීමේ ප්‍රමුඛතාවය සමාගම්වල අවශ්‍යතාව මත පෙළ ගැසෙන බවත්, ඉන් ජනතාවගේ කෘෂිකාර්මික සහ පානීය ජල අවශ්‍යතා සම්බන්ධ අයිතියට විශාල බලපෑමක් එල්ලවන බවත් සභාපතිවරයා කීවේය. මේ වනවිට විදුලි බල නිශ්පාදනය සඳහා ජලය නිකුත් වන්නේ ප්‍රමුඛතා ලයිස්තුවේ තුන්වන ස්ථානය ලෙසය. අංක එක ලෙස පානීය ජල අවශ්‍යතාවයත්, අංක දෙක ලෙස කෘෂිකාර්මික ජල අවශ්‍යතාවයත් නම් කර තිබේ.

කොල්ලුපිටිය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් කාර්යාලයේ අද (2) පැවති මාධ්‍ය හමුවක්  අමතමින් සභාපතිවරයා හෙළි කලේ   යෝජිත විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතින් විදුලිබල කර්මාන්තයේ වත්මන් නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ද අහෝසි කිරීමට ප්‍රතිපාදන සළසා ඇති බවය.

අදාල කෙටුම්පතෙහි යෝජනා ක්‍රියාත්මක කළහොත් මහවැලි බලාගාර, ලක්ෂපාන බලාගාර, උමාඔය ඇතුළු අනෙකුත් සියළුම ජල විදුලි බලාගාර සහ නොරොච්චෝලේ ඇතුළු සියළු තාපබලාගාර වෙන් වෙන් සමාගම්වලට පැවරෙන බව  සභාපතිවරයා පැවසුවේය.


ඊට අමතරව ජලවිදුලි බලාගාර අයත් සමාගම්වල ප්‍රමුඛතාවය අනුව බලාගාරවලට ජලය සපයන ගංගා සහ ජලාශවල ජල කළමණාකරනය කළ යුතු බවට ප්‍රතිපාදන ද මෙම කෙටුම්පතට ඇතුළත් කිරීමෙන් ජනතාවගේ කෘෂි හා පානීය ජල අවශ්‍යතා සම්බන්ධ අයිතිවාසිකම්වලට ද අභියෝගයක් එල්ලවනු ඇති බව ද සදඟන් කළේය.

එය ශ්‍රී ලංකා විදුලිබල කර්මාන්ත ප්‍රතිව්‍යුහගත කීරීමේ පනත ලෙස නම් කර ඇති බවත් එම කමිටුවට පැවරූ කාර්යය වෙනුවට අදාල නොවන කාර්යයන් කර ඇති බවත් ඔහු හෙළි කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2002 අංක 38 දරන ශ්‍රී ලංකා විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතේ සදහන් ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනික ව්‍යුහය පිළිබද අධ්‍යයනය කර ඒ ආයතනික ව්‍යුහය ක්‍රියාවට නැගීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අදාල කමිටුවට බලය පවරා ඇති බවත් එහි ආයනික ව්‍යුහය ලෙස ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීමේ ආයතනික ව්‍යුහ සඳහන් කර ඇති බවත් ජනක රත්නායක  වැඩි දුරටත් කීය.

Exit mobile version