ජනපති මැදුරේ මුදල් ගැන පොලිස් ලොක්කෙකුගේ අනීතික නියෝග බැහැර කළ කොටුව OIC ව දඩයම් කරයි ?

ජනාධිපති මන්දිරයේ තිබි පසුගිය 09 වන දා අරගලකරුවන් විසින් සොයාගෙන ජනාධිපති මන්දිරය භාරව සිටි ආරක්ෂක අංශ ප්‍රධානියා හරහා කොටුව පොලිස් ස්ථානයට භාර දුන් රුපියල් එක් කෝටි  හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල සම්බන්ධව   විධිමත්ව නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා දඩයම් කිරීමේ පොලිස් මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි දරවු කරයි.

මෙම දඩයම පසුපස බස්නාහිර පළාතේ   ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරියෙක් සිටින බවත් ඔහුගේ හිතවත් පොලිස් ඇමතිවරයාගේ බලය සහිතව ඔහු පොලිස්පතිවරයා ද අභිබවා යමින් මේ දඩයම කිරීමට සූදානම්වන බවත් එම ආරංචි මාර්ග පවසයි.

මෙම මුදල සම්බන්ධව විධිමත් විමර්ශනයක් සිදුනොවන බවට පොලිස් මූලස්ථානයෙන්ම චෝදනා එල්ලවෙද්දී ඊයේ (29) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේ වහාම එම මුදල අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

අදාල මුදල් ප්‍රමාණය පොලිසියට භාර දී සති තුනක් ඉක්ම ගිය පසුත් ඒ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා  නොකිරීම ගැන  මහේස්ත්‍රාත්වරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.


එහෙත්  මෙම මුදල   භාර ගත් වහාම කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින්  අදාල සියලුම සටහන්, එම මුදල් භාර දුන් තරුණයින් 05 දෙනෙකුගේ සාක්ෂි සහ වීඩියෝ සාක්ෂි සහිතව පොලිස් පොත්වල සටහන් කර තිබිණි.

එසේ තිබිය දී 09 වැනිදා රාත්‍රියේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇමතූ බස්නාහිර පළාතේ ඉහළම පොලිස් ලොක්කෙක් එම මුදල සම්බන්ධ විස්තර  පොත් පත්වල සටහන් කිරීම සම්බන්ධව ඔහුට බැණ වැදී ඇත. අනතුරුව වහාම එම මුදල පොලිසිය භාර ඇමතිවරයාගේ නිවසට ගෙනැවිත් භාර දෙන ලෙස ද නියෝග කර තිබේ.

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මෙම අනීතික අණ ද පොත්වත්වල දිනය වෙලාව සමග සටහන් කර තිබිණි. ඒ අතර පොලිස් මූලස්ථානයේ යම් යම් නිලධාරීන් මෙම මුදල් භාර දෙන ලෙස කොටුව ස්ථානාධිපතිවරයාට බලපෑම් කළත් ඔහු එයට එකඟ නොවී උසාවියට කරුණු වාර්තා කිරීමට සූදානමින් සිට ඇත.

පසුගිය 13 වැනිදා මේ සම්බන්ධව උසාවියට කරුණු වාර්තා කිරීමට සිටිය දී 12 වැනිදා පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නිලධාරීන්  කණ්ඩායමක් මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වන බව දන්වා මුදල් සහ සියලු සාක්ෂි සටහන් සහිත ලේඛණ ඔවුන් භාරයට ගෙන තිබිණි.

එහෙත් මෙම සිද්ධියට මැදිහත් වූ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්  නිලධාරියාගේ බලපෑම මත විධිමත් විමර්ශනයක් සිදුනොවුන බවත් සිද්ධිය මේ වනතුරුත් කිසිම උසස් නිලධාරියෙකුගේ අවධානයට යොමු වී නැති බවත් පොලිස් මූලස්ථානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය.

මෙම මුදල හා අදාල ලේඛන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් අධිකරණ නියෝගයක් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබෙන්නේ මේ අතරය.

මෙ මුදල සම්බන්ධව  ස්වකීය අනීතික නියෝග පොත්පත්වල සටහන් කිරීම නිසා   උරණ වී සිටින බස්නාහිර පොලිස් ලොක්කා මේ වනවිට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් පලි ගැනීම සඳහා සූදානම් වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව බොහෝ විට නුදුරේදීම කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහි මුල් පියවර ලෙස ස්ථාන මාරුවක් ලැබෙනු ඇතැයි දැනගන්නට ඇත.

Exit mobile version