ජනපති කැඳවූ පොහොට්ටු රැස්වීම හබක්… පොහොට්ටුව දිස්ත්‍රික් නායකයින් ජනපතිගේ රැස්වීමට නොයවයි!

Ranil-Sagara

අද සවස 5.30 ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ  ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇමතිවරු, දිස්ත්‍රික් නායකයින්  සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවට පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්    සහභාගී නොකිරීමට එම පෙරමුණ තීරණය කිරීම නිසා බරපතල  දේශපාලන අර්බුදයක් ප්‍රකාශ  වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග හෙළිදරවු කරයි.  

ජනාධිපතිවරයා විසින් මෙම රැස්වීම සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් , නියෝජ්‍ය ඇමතිවරුන්, සහ පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් ප්‍රධානීන් කැඳවා තිබිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග හෙළි කරන්නේ මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ රජයේ  ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම අරමුණු කරගෙන බවය.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ  ප්‍රතිලාභ ජනතාව අතරට ගෙනියන්නේ කෙසේ ද,   දැනට ටෙලිකොම් වැනි ආයතන පුද්ගලිකකරණයට එරෙහිව නැගෙන විරෝධය ගත යුතු පියවර කුමක් ද?, වර්ථමානයේ රට තුළ නිර්මාණය වෙමින් පවතින ගැටලුවලට පිළිතුරු සොයන්නේ කෙසේද යන්න දීර්ඝ ලෙස සංවාදයට ලක්  කිරීම මෙම සාකච්ඡාව කැඳවිමේ පරමාර්ථ වූ බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කීවේය.


එහෙත් මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ, ජොන්සටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත, එස්.එම් චන්ද්‍රසේන ඇතුළු පොදුජන පෙරමුණේ ප්‍රධානීන් ඇතුළු  කිසිම දිස්ත්‍රික් නායකයෙක් සම්බන්ධ වී සිටියේ නැත.

මෙම රැස්වීම වර්ජනය කිරීමේ  ප්‍රධානම හේතුව මිට කලින් අවස්ථා හතරකදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  සහ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක  බැසිල් රාජපක්ෂ විසින් පොදු ජන පෙරමුණේ  දිස්ත්‍රික් නායකයින්ට ඇමති තනතුරු ලබා දෙන ලෙස කළ ඉල්ලීම නොසලකා හැරීම බව එක් පාර්ශවයකින් ප්‍රකාශ වුනේය.

ජනාධිපතිවරයා විසින් කැඳවූ මෙම රැස්වීම සම්බන්ධව  පොදුජන පෙරමුණ   මින් පෙර ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු ඇතුළු ඇමති මණ්ඩලය කැඳවිය හැකි නමුත් පොදු ජන පෙරමුණට දැනුම් දී නියමිත ක්‍රිියා පටිපාටියකින් තොරව පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් කැඳවිය නොහැකි බවය.

එසේ කැඳවීමට කටයුතු කිරීම ගැන පක්ෂය සිය කණගාටුව ද පල කර තිබිණි.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ජනාධිපති කාර්යාලය හරහා රැස්වීමකට  කැඳවීම අනුමත කළ නොහැකි බවත් එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බවත් පක්ෂ ආරංචි මාර්ග කීවේය.

ඒ අනුව පක්ෂයේ දිස්ත්‍රික් නායකයින් මෙම අවස්ථාවට සම්බන්ධ නොකිරීමට පක්ෂය තීරණය කළ බව ද පක්ෂයේ ආරංචි හෙළි කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පස්වරු 6 ට රැස්වීම ආරම්භ වී පැයකට පමණ එය නිමා වූ බව වාර්තා වේ.

Exit mobile version