ජනපතිටත් තර්ජනය කළ පොඩිලැසී සීඅයිඩී බාරයට

බූස්ස බන්ධනාගාරයේ සිටියදී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට ප‍්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ නඩුවේ දෙවැනි විත්තිකරු වන දකුණේ නමගිය පාතාලා නායක ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දින 90ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අවසර දී තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතා විසින් මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් දෙවැනි විත්තිකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ප‍්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ 1979 අංක 48 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තාවකාලික විධිවිධාන යටතේ 09/01 වගන්තිය යටතේ ය.


ඒ සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය ලැබී ඇති බව ද ඔහු එහිදී කීවේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් සාක්‍ෂියක් සටහන් කරගන්නා ලෙස මෙහිදී ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් හා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයන් සමග එක්ව අවි ආයුධ රැස්කරමින් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරමින් එම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මගින් මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට ආධාර අනුබල දීම, සැලසුම් කිරීම සහ කුමන්ත‍්‍රණය කිරීම ආදී සාහසික ක‍්‍රියා සිදුකරමින් මෙම විත්තිකරු කටයුතු කර ඇති බව අධිකරණයේදී කරුණු ඉදිරිපත් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව 1979 අංක 15 අපරාධ නඩු සංග‍්‍රහයේ 24 ප‍්‍රකාරව බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද සහකාර පොලිස් අධිකාරිවරයා මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Exit mobile version