ජනපතිගේ අනතුරු ඇඟවීමෙන් රාජ්‍ය බැංකු ලොක්කෝ කැලඹෙති

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (15) ලංකා බැංකුවේ ඉහළ කළමනකාරීත්වය සමඟ පැවැති රැස්වීමේදී අවධාරණය කළ කරුණු හේතුවෙන් මේ වනවිට රාජ්‍ය බැංකු සියල්ලේම ඉහළ කළමනාකාරීත්වය දැඩි කැලඹීමකට පත්ව ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව ඊයේ සවස බැංකු අතිරේක සාමාන්‍යාධිකාරීවරුන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සහ සහකාර සාමාකන්‍යාධිකාරීවරුන් ඇතුළු කළමනාකරුවන් විවිධ මට්ටමින් අදහස් හුවමාරු කර ගත් බව බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය. රාජ්‍ය බැංකුවල ඉහළ නිලධාරීන් රටේ ජනතාවගේ දැවෙන අවශ්‍යතාවලට නිසි විසඳුම් දීමට අසමත් වන්නේ නම් එහි අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වැනි ඉහළ තනතුරු දරන්නන් වෙනුවට පිටින් පුද්ගලයන් ගෙන් අදාළ කාර්ය  නිසි ලෙස සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ලංකා බැංකුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) ලංකා බැංකුවේ සභාපතිවරයා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සමඟ පැවැති හමුවකදීය.

මෙරට අපනයනකරුවන්, වැවිලි කර්මාන්තයේ නියෝජිතයන් වානිජ මණ්ඩල නියෝජිතයන් වැනි ව්‍යාපාර ලෝකයට සම්බන්ධ පුද්ගලයන් සහ සංවිධාන කොවිඩ් 19 වසංතයෙන් පසුව ඉදිරියට මුහුණ දීම පිළිබඳව කෙරුණු සාකච්ඡාවලදී බැංකුවලින් නිසි ලෙස අදාළ සහය එම අංශවලට හිමි නොවන බව පෙන්වා දීම සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.  එහි මුල්ම සාකච්ඡාව ඊයේ ලංකා බැංකුව සමඟ සිදුවිය. එහිදී ජනාධිපතිවරයා මෙම බැංකු නිලධාරීන්ට දෝෂාරෝපණය කළේ රාජ්‍ය බැංකු වෙතින් නිර්මාණශීලී ලෙස වර්තමාන ජනතාව ගේ සහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවලට අනුව මෙරට බැංකු පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බවය. රජය විසින් ප්‍රකශහයට පත් කළ සියයට හතරේ ණය ලබා ගැනීමේ දුෂ්කරතා පිළිබඳව තමන් වෙත වාර්තා වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ජනතාවගේ ගිණුම්වලින් සියයට 50ක්  ම දරන ලංකා බැංකුව සහ මහජන බැංකුව මෙම කටයුතුවලදී පෙරට පැමිණිය යුතු බව අවධාරණය කළේය.

ලංකා බැංකුව වෙතින් මේ වනවිට සිදු කෙරෙන කටයුතු ප්‍රමාණවත් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා අලුතින් පත් කිරීම සම්බන්ධයෙන් එහි අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් තුළ පවතින අකැමැත්ත හේතුවෙන් වැඩ නොකරන්නේ නම් ඔවුන් ඉවත් කොට අලුත් අය පත්කර හෝ අදාළ කටයුතු සිදු කළ යුතු බව දැඩි ලෙස අවධාරණය කළේය. තමන්ගේ නෑදැයන්ට සහ හිතවතුන්ට කිසිසේත්  ණය හෝ සහන ලබා දෙන්නැයි තමන් කිසිදු විටෙක සභාපතිවරයාගෙන් නොඉල්ලන බවත් කළ යුත්තේ මේ වනවිට මූල්‍ය මය වශයෙන් පීඩාවට පත්ව සිටින රටේ ජනතාවට සහන ලබා දෙන ලෙස නිර්මාණශීලී විසඳුම් කල්පනා කිරීම බව පෙන්වා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ණය සඳහා ඉලක්කම් දෙකේ පොලි අනුපාතිකයක් පැවතීමෙන් රටේ ආර්ථික අපෙක්ෂා ඉටු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මහ බැංකුවද රාජ්‍ය බැංකුද මේ සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.

Exit mobile version