ඡන්දය දමන්න නිවාඩුව දෙන්න – මැකො

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දෙන ලෙස ලිඛිතව ඉල්ලීම් සිදුකරන ඕනෑම අයෙකුට සාධාරණ කාලයක් නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිසම දන්වා සිටී.

මේ වෙනුවෙන් පැය හතරකට නොඅඩු කාලයක් වැටුප් අහිමි වීමකින් තොරව නිවාඩු ලබාදී ඇති බව මැතිවරණ පනතේ සඳහන් බව කොමිසම පෙන්වා දී තිබේ.

අයදුම්කරුගේ ලිඛිත ඉල්ලීමක් මත සේවා නියුක්තිකයන්ට දෙනු ලැබූ නිවාඩු කාලය සහ ඔවුන්ගේ නම් සහිත දැන්වීමක් සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවද පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 122 (1) වගන්තියේ සඳහන් ය.


ඒ අනුව සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යා යුතු දුර අනුව නිවාඩු ලබාදිය යුතු කාලය නියම කර තිබේ.

කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩු නම් දින භාගයක්, කිලෝමීටර් 40 ත් 100ත් අතර නම් එක් දිනක්, කිලෝමීටර් 100 ත් 150 ත් අතර දින එක හමාරක්, කිලෝමීටර් 150 ට වැඩි නම් දින දෙකක් වශයෙන් නිවාඩු ලබාදිය යුතුවෙයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීමට අදාළ ව පාර්ලිමේන්තු පනතේ දක්වා ඇති නියමයන් අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් දැනුම් දෙයි.

නිවාඩු ලබා නොදීම සම්බන්ධයෙන් පැමිණිලි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දැනුම් දෙන ද ලෙස මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි.

පසුගිය ඡන්ද විමසීම් අවස්ථාවලදී මෙම පහසුකම් ලබා ගැනීමට ඉදිරිපත් වූ අයට පහත දැක්වෙන ආකාරයේ අපහසුතා සේවායෝජකයින් ගෙන් සිදු වූ බවට පැමිණිලි ලද බව මැතිවරණ කොමිසම පවසයි.

  1. ඡන්දය දීම පිණිස නිවාඩු ඉල්ලීම සඳහා සඳහා කරනු ලබන ඉල්ලීම පිළිනොගැනීම.
  2. ඡන්දය දීමට නොහැකි වනු පිණිස ප්‍රමාණවත් කාලයක් නිවාඩු ලබා නොදීම.
  3. අනුමත කරනු ලබන නිවාඩු දින වෙනුවෙන් වැටුප් නොගෙවීම.
  4. අදාල අයදුම්කරුවන් ඡන්ද දායකයින් බව සනාථ කර ගැනීම සඳහා ලිඛිත සාක්ෂි හෝ ඡන්දය පාවිච්චි කිරීම සඳහා තැපෑලෙන් ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත ඉදිරිපත් කරන ලෙස දැන්වීම.
  5. ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු නොදෙන බවට සහ ඒ වෙනුවෙන් සේවා ස්ථානයෙන් බැහැරව යාම හේතු කොටගෙන රැකියා අහිමි විය හැකි බවට අනතුරු ඇඟවීම.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඡන්දය දීම වෙනුවෙන් සේවා නියුක්තිකයින් ඉල්ලා සිටින නිවාඩු ලබා නොදීම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරා දඬුවම් ලබා දිය හැකි වරදක් බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Exit mobile version