අලුත් චීන එන්නතට අනුමැතිය ප්‍රමාදවීම ගැන ඖෂධ නියාමන අධිකාරී ලොක්කා විද්වත් මණ්ඩලයෙන් කරුණු විමසයි..

ඩෙල්ටා ප්‍රභේදයට ප්‍රතිචාර නෑ... ඉන්දුනීසියාවෙ එන්නත් මාත්‍රා දෙකම ගත්ත අයත් මැරෙනවා... විද්වත් කමිටුවේ මත දෙකක්...

sinovac

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනයේ නිෂ්පාදිත සයිනෝවැක් (Sinovac) එන්නත සඳහා අනුමැතිය ලබා දීම සඳහා එම එන්නත් ඇගයීම සිදු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කරන ලද ස්වාධීන විශේෂඥ මණ්ඩලය ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති රසිත විජේවන්ත සූදානම්වන බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය පවා හිමිව ඇති මෙම එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කිරීමේ ප්‍රමාදය ගැන තමන් කණස්සල්ලට පත් වී සිටින බවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති එම පුවත්පතට පවසයි.

මෙම එන්නත සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් හය දෙනකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය මණ්ඩලය තුළ මත දෙකක් පවතින අතර එයින් පිරිසක් එය අනුමත කළ යුතු බවට ප්‍රකාශ කිරීමත් අනෙක් කණ්ඩායම එය ට අනුමැතිය ලබා දීම ප්‍රමාද කිරීමත් හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව එම පුවත් වාර්තාව සඳහන් කරයි.

කෙසේ වුවද ලංකාසරට වාර්තා වන ආකාරයට චීනයේ බියිජිං හි සයිනෝවැක් බයෝටෙක් ආයතනය මඟින් නිපදවනු ලබන මෙම එන්නත දැනට බහුලව සහ වේගයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය හමුවේ සාර්ථක ලෙස ක්‍රියා කරන බවට තහවුරු කරන විද්‍යාත්මක දත්ත මෙම කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම මෙම ප්‍රමාදයට හේතු වී තිබේ.

එම එන්නත කොවිඩ් සාමාන්‍ය වෛරසයට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව මත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනු ලැබුවද ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ විද්‍යාත්මක දත්ත නොමැතිව එය විශාල මුදල් වැය කොට විශාල තොගයක් ශ්‍රි ලංකාවට ගෙන්වීම ඵලදායී නොවන බව ඔවුන්ගේ මතය වි ඇත.

එසේ ම මේ වනවිට සයිනෝවැක් එන්නත බහුල වශයෙන් ලබා දුන් ඉන්දුනිසියාව සහ තායිලන්තයේ එන්නත් මාත්‍රා දෙක ලැබීමෙන් සති දෙකක් ඉක්ම වූ පුද්ගලයන් පවා වෛරසය හේතුවෙන් මිය යාම අවදානයට ලක්ව ඇති කරුණකි. මෙම රටවල් දෙක දැන් තුන්වැනි මාත්‍රාවක් කෙරෙහිව මේ වනවිට අවධානය යොමු කර ඇත.

සභාපතිවරයා පවසන්නේ මෙම එන්නත පිළිබඳව පසුගියදා ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය සංවිධානය කළ වෙබ් සම්මන්ත්‍රණයේ දී  ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පවා මෙම එන්නත ලබා දීම සුදුසු බවට ප්‍රකාශ කර ඇති බවයි.

එවැනි තත්ත්වයක් යටතේ මෙම එනන්ත අනුමත කිරීමට පසුබට වන්නේ කවර කාරණාවක් නිසාද යි මේ අනුව තමන් එම කමිටුවෙන් විමසීමට බලාපොරොත්තු වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඩේලි මිරර් පුවත් පතට පවසා ඇත.

Exit mobile version