රජයේ පාසල් වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අනුමත ගාස්තු හැර දෙමව්පියන් ගෙන් මුදල් ලබා ගැනීම නොකළ යුුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛන මගින් දැනුම් දී තිබිය දී අදාළ චක්‍රලේඛන උල්ලංඝනය කරමින් සිසුන්ගෙන් මුදල් එකතු කර මහනුවර ධර්මරාජ විදුහලේ ප්‍රාථමික අංශය මගින් පවත්වන්නට සූදානම් කර තිබූ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදුහල්පතිවරයාට (රාජකාරි ආවරණ) ලිඛිතව දැනුම් දී තිබේ.
ප්‍රාථමික අංශය මගින් මෙම විවිධ ප්‍රසංගය හෙට (24) මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට සූදානම් කර තිබිණි.
විවිධ ප්‍රසංගය අතරතුර පාසලේ හිටපු විදුහල්පතිවරයාට ත්‍යාග පිරිනැමීමට ද සැළසුම් කර තිබී ඇති අතර ඒ සඳහා ප්‍රාථමික අංශයේ එක් පංතියකින් රුපියල් 3000 බැගින් එකතු කර තිබෙන බවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබිණි.
මෙයට අමතරව පළමු වසරට ළමුන් ඇතුළත් කළ දෙමව්පියන්ගෙන් ද මුදල් ලබා ගන්නා බවට ලද තොරතුරු මත මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අධ්‍යාපන) ප්‍රභාත් මද්දුමආරච්චි කැඳවා ඊයේ (22) ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
එහි දී ලබාගත් තීරණයකට අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ධර්මරාජ විදුහලේ වැඩ ආවරණය කිරීම සඳහා පත්කර තිබෙන විදුහල්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර කරුණු සොයා බලා කටයුතු කරන තෙක් ප්‍රාථමික අංශයේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවන ලෙසයි.
විවිධ ප්‍රසංගයේ නර්ථනාංග සඳහා සහභාගි වන ප්‍රාථමික අංශයේ එක් දරුවෙකුගෙන් ඇදුම් පැළඳුම් සඳහා රුපියල් 10000 ක මුදලක් එම අංශයේ සහකාර විදුහල්පතිනිය ඇයට හිතවත් ගුරුවරු හා මව්වරු මගින් එකතු කිරීමට කටයුතු කර ඇතැයි ද පෙන්වා දෙන දෙමව්පියන් පිරිසක් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට ලිපියක් ද යොමුකර තිබේ







