රත්වුන මාර්තුව…

යුරෝපයේ දේශගුණ නිරීක්ෂණ ඒජන්සිය නිකුත් කල වාර්තාවකට අනුව, ලෝකය වාර්තාගත උණුසුම්ම මාර්තු මාසය පසුගිය මාර්තුව බව තහවුරු වී තිබෙනවා.

යුරෝපා සංගමයේ දේශගුණික විපර්යාස නිරීක්ෂණ සේවාව පවසන්නේ ගෙවුණු මාස 10ක කාලයේ සෑම මාසයක්ම නව උෂ්ණත්ව වාර්තාවක්  පිහිටුවා ඇති බවයි.

පසුගිය වසරවල අදාළ මාස හා සසඳන විට, පසුගිය මාස 10න් සෑම එකක්ම වාර්තාගත ලෙස ලෝකයේ උණුසුම්ම මාස වශයෙන් ශ්‍රේණිගත කර ඇති බව යුරෝපා සංගමයේ දේශගුණික විපර්යාස නිරීක්ෂණ සේවාව සිය මාසික ප්‍රකාශනයේ දක්වා තිබෙනවා.

ලොව බොහෝමයක් රටවල් මෙන්ම අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශ, ග්‍රීන්ලන්තය,  සහ ඇන්ටාක්ටිකාව ගෙවුනු මාර්තු මාසය තුළ සාමාන්‍යය අගයට වඩා වැඩි උෂ්ණත්වයක් දරා ඇති බව වාර්තා වනවා.


පවතින අධික තාපයට මූලික හේතුව මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන හරිතාගාර වායු විමෝචනය බව කොපර්නිකස් දේශගුණ විපර්යාස සේවාව පවසා තිබෙනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්තා බර්ගස් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් 1850 වසර දක්වා දිවෙන ගෝලීය දේශගුණික වාර්තා අනුව 2023 වසර පෘථිවියේ උණුසුම්ම වසර බව සඳහන් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) අනතුරු අඟවා ඇත්තේ 2030 වසරේ මුල් භාගය පමණ වනවිට ලෝකයට පවතින තත්වයටත් එහා ගිය අධික උෂ්ණත්වයකින් යුත් දේශගුණයකට මුහුණ දීමට සිදුවන බවටයි.

සාගර උෂ්ණත්වයේ ඉහළ යෑම

සාගර මතුපිට උෂ්ණත්වය ද මාර්තු මාසයේදී නව ගෝලීය වාර්තාවක් පිහිටුවා ඇති බව වාර්තා වනවා. මාර්තු මාසය තුල ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය සටහන්ව තිබුනේ සෙල්සියස් අංශක 21.07 ලෙසයි.  එය මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අගය වන අතර පෙබරවාරි මාසයේ වාර්තා වූ ප්‍රමාණයට වඩා තරමක් වැඩි බව කොපර්නිකස් දේශගුණ විපර්යාස සේවාව පවසනවා.

පෘථිවියෙන් සියයට 70 ක් ම ආවරණය වන්නේ සාගර වලින් වන අතර ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු දහනය කිරීමෙන් නිපදවන කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් විමෝචනය හේතුවෙන් ඇති වන අතිරික්ත තාපයෙන් සියයට 90 ක් පමණ ම අවශෝෂණය කර ගනිමින් දේශගුණය ජීවත්විය හැකි ලෙස තබා ගැනීමට සාගර උපකාරී වනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වුඩ්වෙල් දේශගුණ පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥ ජෙනිෆර් ෆ්‍රැන්සිස් උෂ්ණාධික දේශගුණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් “අප පොසිල ඉන්ධන දහනය කිරීම නැවැත්විය යුතුයි. වන විනාශය නැවැත්විය යුතුයි. ඒ වගේම අපගේ ආහාර වැඩිපුර වගා කළ යුතුයි.” පවසා තිබෙනවා. උණුසුම් සාගර වායුගෝලයේ වැඩි තෙතමනයක් නිපදවන අතර, තද සුළං සහ අධික වර්ෂාව ඇතුළුව, වඩ වඩාත් අවිනිශ්චිත කාලගුණයක් ඇති කරන බව සඳහන් වනවා. රුසියාව මේ වන විට දශක කිහිපයකින් මුහුණ දෙන දරුණුතම ගංවතුරෙන් පීඩා විඳිමින් සිටින අතර ඕස්ට්‍රේලියාවේ, බ්‍රසීලයේ සහ ප්‍රංශයේ සමහර කොටස් ද සුවිශේෂී තෙත් මාර්තු මාසයක් අත්විඳි බව දැක්වෙනවා. එමෙන්ම සාගර උෂ්ණත්වය ඉහළ යෑම කොරල්පර විනාශයට හේතුවක් බව සමුද්‍ර විද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා.

Exit mobile version