ගෙවත්තේ එළවලු පාත්තියේ සිට අධිවේගී මාර්ගය දක්වා සියලු ව්‍යාපෘති අධීක්ෂණය නාමල්ට

කීර්ති ප්‍රනාන්දු –

නාමල් රාජපක්ෂ අලුතින් පත්කළ කැබිනට් අමාත්‍ය ධූරයවන සංවර්ධන සම්බන්ධීකරණ අධික්ෂණ අමාත්‍යාංශය යටතට පත් කළ  විෂය පථය වෙන් කරන ලද ගැසට් නිවේදනයට  අනුව ඔහුට අඩු ආදායම් ලාභීන්ගේ නේවාසික ඉඩම්වල එළවළු පළතුරු වගාවේ සිට මෙරට ක්‍රියාත්මකවන අධිවේගී මාර්ග, විදුලි බලාගාර ඇතුළු  සියලු මහා පරිමාණ ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා බලතල පවරා තිබේ.

නාමල් රාජපක්ෂට එම විෂය පථය යටතේ සෞභාග්‍යයේ දැක්ම ජාතික සංවර්ධන වැඩසටහන් තුළ නව අවස්ථා නිර්මාණය කරමින් සක්‍රීය හා සජීවී යාන්ත්‍රණයක් හරහා නව ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට  ජනාධිපතිවරයාගේ නියෝග හා මග පෙන්වීම් යටතේ සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය හා ව්‍යාපෘති අධීක්ෂණයත් පසු විපරම් කිරීම සහ ඇගයීමේ වගකීමත්  පවරා ඇත.

එම ගැසට් නිවේදනය මගින් නව අමාත්‍යාංශය වෙත ලබා දී ඇති සුවිශේෂී ප්‍රමුඛතා අතර  දේශීය හා විදේශීය අරමුදල් මගින් ක්‍රියාත්මකවන මහනුවර අධිවේගී මාර්ගය, රුවන්පුර අධිවේගී මාර්ගය, වරාය පිවිසුම් මාර්ගය හා අතුරුගිරිය අධිවේගී මාර්ගය, මොරටුව දක්වා මෙරීන් ඩ්‍රයිව් ව්‍යාපෘතිය  සූර්ය බලාගාර ජලවිදුලි බලාගාර,  රටපුරා ක්‍රියාත්මක වන වාරි ව්‍යාපෘති ගණනාවක්, ජලසම්පාදන ව්‍යාපෘති ගණනාවක්,  කොළඹ හා තදාසන්න මැදි ආදායම් නිවාස පනස් දහසේ ව්‍යාපෘතිය, දිවයිනේ ප්‍රදේශ කීපයක තාක්ෂණ උද්‍යාන කීපයක් යන ව්‍යාපෘති ඉලක්කගත කාලසීමාව තුළ ක්‍රියාත්මක කීරීම සහ කඩිනම් කිරීම ද නාමල් රාජපක්ෂ ඇමතිවරයාට පැවරෙන ප්‍රමුඛතා වගකීමක් වේ.


නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා  සමෘද්ධි හා අඩු ආදායම් ලාභී නේවාසික් ස්ථානවල නිවාස හා සනීපාරක්ෂක කටයුතු, එම ඉඩම්වල කොස් දෙල් වැනි භෝග වගා කිරීමෙන් නේවාසික ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශේෂී ප්‍රමුඛතාවයකින් කටයුතු කීරීම ද අධීක්ෂණය කරනු ඇත.

ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ තුළ   රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක කරන මාර්ග පානීය ජල සම්පාදන, විදුලිය , දුරකථන, ක්‍රීඩාපිටි පාසල්, රෝහල්, වෘත්තිය අධ්‍යාපන ආයතන, නාගරික විශ්විද්‍යාල, ඉඩම් පැවරීම, බැංකු හා මූල්‍ය පහසුකම් වෙළෙඳපල, ගබඩා හා යටිතල පහසුකම් වැනි ව්‍යාපෘති අධීක්ෂණය ද ඔහු යටතේ වේ.

ගම සමග පිළිසඳර වැඩසටහන පසු විරම් කිරීමේ වගකීම ද ඔහු පවරා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සියලු වගකීම්  ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවට යටත් කර ඇත

Exit mobile version