අමායා උඩුවැරැල්ල –
දකුණු කොරියානු චිත්‍රපට සහ සංගීතය, නැරඹීම හා බෙදාහැරීම හේතුවෙන් 22 හැවිරිදි උතුරු කොරියානු තරුණයෙකු එරට දී ප්‍රසිද්ධියේ ඝාතනය කර ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
මේ බව සඳහන් වන්නේ දකුණු කොරියාවේ ඇති එක්සත් කිරීමේ අමාත්‍යාංශය (unification ministry) විසින් ඊයේ (27) එනම් බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද උතුරු කොරියානු මානව හිමිකම් පිළිබඳ 2024 වසරේ වාර්තාවේ ය.
උතුරු කොරියාවේ සිට පලා ආ පුද්ගලයෙකුගේ සාක්ෂියකට අනුව, දකුණු කොරියානු ගීත 70 කට පමණ සවන් දීම, චිත්‍රපට තුනක් නැරඹීම සහ ඒවා බෙදා හැරීම හේතුවෙන් 2022 වසරේ දී උතුරු කොරියාවේ දකුණු හ්වන්හේ පළාතේ දී එම තරුණයා ප්‍රසිද්ධියේ මරා දමා තිබෙනවා.
2020 වසරේ දී ප්රතිගාමී මතවාදය සහ සංස්කෘතිය තහනම් කරමින් ඇති කළ උතුරු කොරියානු නීතියක් උල්ලංඝනය කිරීමක් ලෙස දක්වමින් ඔහුව මරා දමා ඇති බවයි සඳහන් වන්නේ.
තව ද එම වාර්තාවේ හි තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් බාහිර තොරතුරු ගලාඒම පාලනය කිරීමට උතුරු කොරියානු බලධාරීන් විසින් දරන ලද පුළුල් උත්සාහයන් විස්තර කර තිබෙන අතර විවාහයක දී මනාලියන් සුදු ඇඳුම් ඇඳීම, මනාලයන් මනාලිය රැගෙන යාම, අව් කණ්ණාඩි පැළඳීම හෝ වයින් වීදුරුවලින් මත්පැන් පානය කිරීම වැනි දෑ උතුරු කොරියාවේ දඬුවම් ලැබිය හැකි වරදවල් බව ද සඳහන් කර තිබෙනවා. උතුරු කොරියාව, ඒ සියල්ල දකුණු කොරියානු සිරිත් විරිත් ලෙස සලකන හෙයින් ඒවා දඬුවම් ලැබිය හැකි වරදවල් ලෙස නම් කර ඇති බවයි සඳහන් වන්නේ.