ගාසා තීරයේ ජනතාව සාගින්නෙන් මියයන්න ආසන්නයි!

ගාසා තීරයේ ඇතැම් ස්ථාන වල ජනතාව මුහුණ දුන් උග්‍ර ආහාර හිඟය දැන් සාගත මට්ටම ඉක්මවා ගොස් ඇති බවත් සටන් විරාමයක් නොමැති වීම සහ සටන් වලට මුහුණ දෙන ප්‍රදේශවල ආහාර නිෂ්පාදනයක් සිදු නොවන බැවින් සාගතය හේතුවෙන් වන සමූහ මරණ සිදුවීමට දැන් ආසන්න බව ගෝලීය කුසගින්න පිලිබඳව දත්ත වාර්තා කරන්නන් කණ්ඩායමක් ඊයේ (18) ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන විසින් කරනු ලබන තක්සේරු කිරීම් මත රඳා පවතින ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය (IPC) පවසා ඇත්තේ උතුරු ගාසා තීරයේ සමහර ප්‍රදේශවල ජනතාවගෙන් 70% ක්ම දරුණුතම ආහාර හිඟයෙන් පෙළෙන බවයි. එය සලකා බැලිය යුතු 20% සීමාව මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි ය.සෑම පුද්ගලයන් 10,000 කින් දෙදෙනෙකු කුසගින්නෙන්, මන්දපෝෂණයෙන් හෝ රෝගී තත්වයන්ගෙන් දිනපතා මිය යන බව ද එහි දක්වා තිබෙනවා. එමෙන්ම ඔවුන් දක්වන්නේ මෙය මිනිසා විසින් නිර්මාණය කරන ලද සාගින්නක් බවයි. එය නැවැත්වීමට අපොහොසත් වීම සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව ලැජ්ජා විය යුතු බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

ගාසා හි සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ මන්දපෝෂණය හේතුවෙන් මේ වන විට ළමුන් 27 දෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු මියගොස් ඇති බවයි. සාගතය වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් සටන් විරාමයක් සඳහා ක්ෂණික දේශපාලන තීරණයක් අවශ්‍ය බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙනවා.
සමස්තයක් වශයෙන් ගාසා හි ජනගහනයෙන් අඩක් පමණ වන මිලියන 1.1 ක් ආහාර හිඟය අති ප්‍රබල ලෙස අත්විඳිමින් සිටිනවා.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ගාසා තීරයේ විශාලතම රෝහල වූ අල් ෂිෆා රෝහලට ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කර තිබෙනවා. එය  ප්‍රදේශයේ අර්ධ වශයෙන් හෝ ක්‍රියාත්මක වෙමින් තිබු වෛද්‍ය පහසුකම්වලින් සමන්විත එකම රෝහල යි.

Exit mobile version