ගම්මන්පිලට ගෙනෙන විශ්වාස භංගයට හේතු සජිත් කියයි

වසංගතයක් හේතුවෙන් රටේ සියලු ක්ෂේත්‍ර කඩාවැටී ඇති මොහොතක ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විපක්ෂය ගෙනයන නොනවතින අරගලයේ දිගුවක් ලෙස විෂයබාර ඇමති උදය ගම්මන්පිළ මහතාට එරෙහිව විශ්වාසභංගය ගෙන එන බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්ධන මිල ඉහළ දැමීමට විපක්ෂයේ විරෝධය පළකරන හේතු කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඒ පිළිබද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය පහත දැක්වේ.


ඉන්ධන මිල ඉහළ දැමීමට අපි එරෙහි වන්නේ ඇයි?

ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීමෙන් සිදු කොට ඇත්තේ ජනතාව මහ දවල් මංකොල්ලකෑම කෑමකි. රටේ සියලු ක්ශේත්‍ර කඩාවැටී ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින මොහොතේ ආණ්ඩුව ජනතාවගේ කරමත තවත් බරපතළ බරක් පැටවීම අමානුෂික ය. දුර්දාන්ත ය.

මීට එරෙහිව විපක්ෂය හැටියට අප නොනැවතී අරගල කරන අතර විෂය භාර අමාත්‍යවරයාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංගය එහි දිගුවකි. ආණ්ඩුවේ අන්තනෝමතික ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහි වීමට හේතු කිහිපයක්ම තිබේ.

🔽 ලොව භයානකම ව්‍යසනයට අපේ රටද මුහුණ දී සිටින මොහොතේ ආණ්ඩුව කළ යුතුව තිබුණේ ඉන්ධන මිල ඉහළ දැමීම නොව ජනතාවට සහනයක් ලබා දීමය.

2020 වසරේදී ලොව අසීමිත ලෙස ඉන්ධන මිල පහල යද්දිත් එම වාසිය ජනතාවට ලබා නොදුන් ආණ්ඩුට මේ මොහොතේ හෝ එය ක්‍රියාත්මක කිරීමට තිබුණි.

🔽 වර්තමාන ආණ්ඩුව බලයට පත්වන විට ඉන්ධන මිල තිබුණේ 2015 වසරේ අප විසින් ආණ්ඩුව භාරගන්නා විට තිබුණු මිලටත් වඩා අඩු මිලකිනි.නමුත් මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිට ඉන්ධන මිල අසාමාන්‍ය අගයකින් ඉහල දමා තිබේ.

🔽 පසුගිය අපේ ආණ්ඩුව වකවානුවේ ක්‍රියාවට නංවා තිබූ මිල සූත්‍රය ප්‍රකාරව කටයුතු කළා නම් ලෝකයේ ඉන්ධන මිල බරපතළ ලෙස අඩු වූ 2020 වසරේ පවා එකී වාසිය ජනතාවට අසාමාන්‍ය ලෙස ලබා ගැනීමට හැකියාව තිබුණි.

නමුත් එකී මිල සූත්‍රය අහෝසි කරන බවට පවසමින් බලයට පත් ආණ්ඩුව ඉන්ධන මිලෙන් ද ජනතාවගේ ගෙල සිර කොට තිබේ.

🔽මේ ඉන්ධන මිල වැඩි වීමත් සමගම ඉතා ඉක්මනින් රටේ සමස්ත ක්ෂේත්‍රයන්හි මිල ඉහළ යෑම නොවැළැක්විය හැකි අතර එහි වින්දිතයින් බවට පත් වන්නේ මේ රටේ අහිංසක අසරණ ජනතාව ය.

🔽මිල ස්ථායිකරණ අරමුදලක් ඇති කරන බව පවසමින් 2020 ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වූ වාසිය ජනතාවට ලබා නොදුන් ආණ්ඩුව අදාල අරමුදලට සිදු කළේ කුමක් දැයි යන්න පවා නිශ්චිත පැහැදිලි පිළිතුරක් රටට ලබා දී නැත.

🔽2008 වසරේදී ඉන්ධන මිල අඩු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පවා ලබා දුන්න ද එම තීන්දුව පවා එවක ක්‍රියාවට නැංවීමට කටයුතු නොකළ ආණ්ඩුව මේ බරපතළ වියසනය මොහොතේ ජනතාවගේ ගෙල සිර කිරීමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව හි පවත්නා අමානුෂික ස්වරූපය මිස අන් කිසිවක් නොවේ.

දෙවසරක් තිස්සේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති රටක,ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් පවා අහිමිව ගොස් අන්ත අසරණ දරු පරපුරක් සිටින රටක,පොහොර අහිමි වූ ගොවියන් සුසුම් හෙළමින් සිටින රටක ,ධීවරයින්ට සිය මාළු අස්වැන්න විකුණා ගත නොහැකිව සිටින රටක ,රාජ්‍ය සේවකයින් මෙන්ම පෞද්ගලික අංශ සේවකයින් ද අන්ත අසරණව සිටින රටක ,රැකියා අහිමි වූ තරුණ පරපුර අපේක්ෂා භංග ව සිටින රටක වගකිවයුතු ආණ්ඩුවක් හැසිරෙන්නේ මෙලෙස නම් ඊට එරෙහිව නැගී සිටීමට විපක්ෂයේ අප කිසිවිටෙකත් පසුබට නොවන බව සහතික කරමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

Exit mobile version