ගත වූ දින තුන තුළ අයහපත් කාලගුණය ජීවිත හතක් බිලි ගනී

තුෂාරී කළුබෝවිල –

අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන්ගෙන් ගතවූ දින තුනේදී පුද්ගල මරණ 7ක් වාර්තා වී ඇති අතර තවත් පුද්ගලයින් 7 දෙනෙක් තුවාල ලබා තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ලේ පුද්ගලයන් 2ක් ජලගැලීම් හේතුවෙන් ද නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ එක් අයෙක් ද රත්නපුර බැරැණ්ඩුව ප්‍රදේශයේ වෙළෙඳ සැලක් මතට ගසක් කඩා වැටීමෙන් එක් කාන්තාවක් ද කළුතර බේරුවල පුද්ගලයන් 2ක් දීයේ ගිලීමෙන් ද අනුරාධපුර කහටගස්දිගිලිය පදිංචි පුද්ගලයෙක් තද සුළං හේතුවෙන් ඇති වූ ආපදාවකින් ද මෙසේ මියගොස් තිබේ.

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 23 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89 කට අයත් පවුල් 3677කට අයත් පුද්ගලයින් 14100 දෙනෙක් සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදාවන්ගෙන් පීඩාවට පත්ව ඇත.
ඒ අතරින් පවුල් 282කට අයත් පුද්ගලයන් 1148 දෙනෙක් ආරක්ෂිත ස්ථාන 26 ක ද තවත් පවුල් 268කට අයත් පුද්ගලයන් 1084 දෙනෙක් සිය පදිංචි ස්ථානවලින් වහාම ඉවත් කොට ඔවුන්ගේ ඥාති නිවෙස්වල ද තාවකාලිකව පදිංචි කරවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජල ගැලීම්, තද සුළං, නායයාම්, පස් කණ්ඩි කඩා වැටීම් ආදි විපත් හේතුවෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 1163 ක් වන අතර එයින් නිවාස 13ක් මුළුමනින් ම විනාශ වී ඇත.
මෙම සංඛ්‍යාවන් අද (20) දහවල් වන විට තවත් වැඩි වන බවත්, විපතට පත්වූවන් සඳහා සහන සැලසීමේ කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සිදුකෙරෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර පසුගිය දින කිහිපයේ කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ දැරණියගල, මාවනැල්ල, බුලත්කොහුපිටිය ප්‍රදේශවල ද රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ වේවැල්වත්ත, බටේපොල ප්‍රදේශවල ද කොළඹ බලන්ගොඩ පාරේ ස්ථාන කිහිපයක ද නායයාම් හා පස් කඳු කඩාවැටීම් සිදු වූ බව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසයි.

Exit mobile version