කෝටි 30ක කරුංකා ජාවාරමේ මුල සිටි සහකාර රේගු අධිකාරී අත්අඩංගුවට

රේගු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය අවභාවිතා කරමින් කූට ලේඛණ සාදා ඉන්දුනීසියාවෙන් ලංකාවට ගෙනවනු ලැබූ රුපියල් කෝටි 30ක් වටිනා කරුංකා තොගයක් ලංකාවේ නිශ්පාදිත කරුංකා ලෙස හුවා දක්වමින් ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමට කටයුතු කළ 29 හැවිරිදි සහකාර රේගු අධිකාරීවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ( 12) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් මාස කීපයක සිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ  2020 වර්ෂයේ අගෝස්තු සැප්තැම්බර් හා ඔක්තොම්බර් මාසවල දී ඉන්දුනීසියාවේ සිට ලංකාවට ආනයනය කරන ලද කරුංකා කන්ටේනර් 23ක් සම්බන්ධයෙනි. කෝටි 30ක් වටිනා මෙම ආනයනික කරුංකා තොගය ශ්‍රී ලංකාවේ නිශ්පාදිත කරුංකා බව හඟවමින් ව්‍යාජ ලේඛන සකස් කර ඉන්දියාවට ප්‍රති අපනයනය කර තිබිණි. මෙම විමර්ශනයේ මුල් අවස්ථාවේ දී සැකකරුවන් 03ක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණේය.


මෙහි දී කූඨ ලේඛණ සාදා ඇති ආකාරය තහවුරු වූයේය. වංචාව සම්බන්ධව  දැඩි අවධානය යොමු වී තිබුණේ එම කූඨ ලේඛණ සකස් කර තිබුණේ රේගු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියෙන්  නිසාය.

ඒ ඔස්සේ කළ විමර්ශනයේ දී  ව්‍යාජ ලෙස දත්ත පරිගණක පද්ධතියට ඇතුළත් කළ සහකාර රේගු අධිකාරීවරයෙක් ඊයේ  (12)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණි. වාද්දූවේ පදිංචි එම 29 හැවිරිදි සහකාර රේගු අධිකාරීවරයා මේ වනවිට වැඩ තහනමකට ලක් වී සිටින බවත්    මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය පනත හා අනිකුත් නීතින් යටතේ කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කීවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පොලිස් මාධය ප්‍රකාශකවරයා ගේ ප්‍රකාශය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version