දිනසේන රතුගමගේ –
රුපියල් කෝටි දෙකකට වඩා වැඩි වටිනාකමකින් යුත් අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 200 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (14) අලුයම මන්නාරමේදි අත් අඩංගුවට ගෙන තිබේ.
මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් පස් දෙනා කලයක සිට ඉන්දියාවෙන් විවිධ අන්දමේ මත්ද්‍රව්‍ය බෝට්ටු මගින් මන්නාරමට රැගෙන විත් දිවයිනේ දකුණු පළාතට යවන මහා පරිමාණයේ ජාවරමක් සිදු කරගෙන ගිය බවටද තොරතුරු හෙළි වී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබදව තොරතුරු වාර්තා වීමෙන් පසුව ඔවුන් විසින් සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් පස් දෙනා අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
වයස අවුරුදු 33 ත් 45 ත් අතර වයසේ පසුවන මෙම සැකකරුවන් මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මන්න්නාරම පොලීසිය වෙත බාර දී තිබේ.
මන්නාරම පොලීසියත් පොලිස් විශේෂ කාර්ය බලකායත් මෙම සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යන අතර සැකකරුවන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇත.