කොළඹ ගස් කඩා වැටෙන හේතු සොයා සමීක්ෂණයක්

කොළඹ නගරයේ විටින් විට විශේෂයෙන් වැසි සමයේ දී සිදුවන ගස් කඩාවැටීමට හේතු සොයා පිළියම් හඳුනාගැනීමේ අධ්‍යයන සමීක්ෂණයක් සිදු කර තිබේ.

ජනාධිපති කාර්යාල පරිසර ඒකකයේ මෙහෙයවීමෙන් පසුගියදා එය සිදු කෙරිණ.

ඒ සඳහා ආනන්ද කුමාරස්වාමි මාවත, ග්‍රෙගරි පාර සහ තුන්මුල්ල වැනි ගස් කඩා වැටීම් බහුලව සිදුවන ප්‍රදේශ පාදක කරගෙන ඇත.


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයීය විශේෂ පැවරුම් හා පරිසර අධ්‍යක්ෂ ධූරයට පත්වීමෙන් අනතුරුව මේ වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අචලා අත්තනායක, වනෝද්‍යාන අංශ භාර නිලධාරී සුනිල් ගමගේ, වනෝද්‍යාන අංශ භාර කොළඹ මහ නගර සභාවේ සහකාර නිලධාරී පසන් තරිදු වික්‍රමසිංහ සහ නගර අලංකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ තරංගා මුණිවීර යන මහත්ම මහත්මීහු අධ්‍යයන සමීක්ෂණයට සහභාගී වූහ.

ජනාධිපති කාර්යාලයීය විශේෂ පැවරුම් හා පරිසර ඒකක නිලධාරීන්ගේ සහය ඔවුනට ලැබිණ.

පසුගිය දින කිහිපය තුළ කොළඹ නගරයේ විශාල ගස් 27ක් ඉදිරි ඇඳ වැටී තිබේ.

ගසේ මුල් දිරාපත් වීම, ආයු කාලය ක්ෂය වීම, පරපෝෂණය හා ශාක කඳන් මත පාසි බැඳීමෙන් ඒවායේ බර වැඩිවීම වැනි සාධක ඊට හේතුවන බව අධ්‍යයනයෙන් අනාවරණය විය.

අධ්‍යයනයෙන් හෙළි වූ තොරතුරු තවදුරටත් විමර්ශණය කොට අවශ්‍ය පිළියම් කරමින් ගස් ආරක්ෂා කර ගන්නා අතර, මහජනතාවගේ හා දේපළවල සුරක්ෂිතතාව සහතික වන අයුරින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ රැස් කර තිබූ කඩා වැටුණු ගස් සහ අතු ආරක්ෂිතව ඉවත් කිරීම ද අධ්‍යයන සමීක්ෂණයට සමගාමීව සිදු විය.

Exit mobile version