කොස්ගොඩදී ඇල්ලු අයිස් තොගය එව්වේ මහනුවරටද?

ප්‍රවාහනයට යොදාගත් බස්රිය නුවර සිට ගිය එකක්

කොස්ගොඩ ප්‍රදේශයේ දී අද අලුයම බස් රථයකින් ප්‍රවාහනය නරමින් සිටියදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18 ක තොගය මහනුවර සිටින ජාවාරම්කරුවකු වෙත ප්‍රවාහනය කිරීමට උත්සාහ ගත්තේද යන්න පිළිබඳව පොලිස් විමර්ශණ අංශ සැක පහළ කරයි.

මේ සැකයට හේතුවී ඇත්තේ එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බස් රථය මහනුවර පුද්ගලයකු විසින් අදාළ සැකකරුවාට ලබා දි ඇති බවට මූලික විමර්ශණවලදී අනාවරණය වී තිබීමය.

කෝටි ගණනක් වටිනා මෙම මත්ද්‍රව්‍ය තොගය පසුගියදා ඉන්දියාවේදී මිය ගිය අංගොඩ ලොක්කා නැමැති අපරාධකරුවාගේ‍ සමීපතම පාතාල අපරාධකරුවකු වන දැනට ඉන්දියාවට පැන සිටින ලඩියා නැමැත්තා විසින් මෙහෙයවනු ලැබ ඇති බවත් ඔහුගේ උපදෙස් මත හෝමාගම පදිංචි තිලංග නැමැති පුද්ගලයකු එම මත්කුඩු තොගය ප්‍රවාහනය කිරීමට යොදා ගෙන ඇති බවටත් සැක කෙරේ.


එම මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට ගත් මෙම සැකකරු ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ලඩියා නැමත්තා විසින් ඉන්දියාවේ සිට දුරකථන ඇමතුමක් ලබා දී මහනුවරට යවන ලෙසත් එහිදී තමන්ට ලැබෙන බස් රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොස්ගොඩ ට රැගෙන එන ලෙසය.

ඉන්දියාවේ නිෂ්පාදිත අයිෂර් වර්ගයේ ආසන 48 බස් රථය මධ්‍යම පළාත සංකේතවත් කරන ලියාපදිංචි අංකයක් සහිත වන අතර එය මෙම තිලංග නැමැත්තා කොස්ගොඩ පියගම තොරණ හන්දියට පදවාගෙන පැමිණ ඇත.

එහිදී මෙම මත්ද්‍රව්‍ය තොගය බස් රථයට තවත් පාර්ශ්වයක් විසින් ලබා දී ඇති අතර ඔහුට උපදෙස් ලැබී ඇත්තේ එය යළි දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන එන ලෙසය.

කෙසේ වුවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරක් මත මෙම මත්ද්‍රව්‍ය තොගය ඔහු බස්රථය පදවාගෙන පැමිණෙද්දි අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව තවදුරටත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version