කොවිඩ් සුනාමියක ලකුණු… රට  තුළ හඳුනා නොගත් නව කොවිඩ් ප්‍රභේදයක්…

දැඩි සත්කාර ඒකක පිරෙන්න පටන් අරන්... සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශය කොවිඩ් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරයි...

සමන්තිකා වීරවර්ධන –

මේ වනවිට  දැඩි සත්කාර ඒකකවල කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීම වැඩිවෙමින්  පවතින බවත්,  වේගයෙන් පැතිරී යන කොවිඩ් ප්‍රභේදයක් මේ රට තුළ පැතිරෙමින් ඇති දැයි සැක සිතෙන බවත් රාජ්‍ය ඇමති චන්න ජයසුමන ප්‍රකාශ කරයි.

මේ අනුව මෙරට පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය පිලිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛරස රෝග පිළිබද විශේෂඥ මහාචාර්ය නීලිකා මලවිගේ   පරික්ෂණ ආරම්භ කර ඇති බවත් එම පරික්ෂණයන්ගේ වාර්තාවන් සති අන්තයේ ලැබීමට නියමිත බවත්  මහාචාර්යවරයා කියයි.

මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපරිම අවදානම් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව තුළ මීට පෙර හමු නොවූ කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වී ඇති බවය. 


සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කර ඇති උපරිම අවාදානම් නිවේදනය මෙසේය.

 COVID-19 අනතුරු ඇඟවීම!

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇත. මීට අමතරව ලංකාව තුළ කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළ දී වාර්තා වී ඇත. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදු වී ගෙන යන අතරතුර මහජනතාව ලෙස අප සියලු දෙනාම මේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුයි.

රෝග නිවාරණ උපදෙස් පිළිපැදීම මගින් රෝග පැතිරීම ඉතා ඉක්මනින් පාලනය කළ හැකි බව අප සියලු දෙනාම පසුගිය කාලයේ දී අත්දුටුවා. පසුගිය උත්සව සමය හා ඊට සමගාමීව මෙම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ක්‍රමයෙන් අඩු වීමක් දක්නට ලැබීම මෙම අලුත් අවදානම් තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ඇති බව නොඅනුමානයි.

යළිත් වරක් දැඩි නීති පැනවීම සහ සංචරණ සීමා පැනවීම වැනි ක්‍රියා මාර්ග වලට යොමු වීම වැළැක්වීම සඳහා සමාජයක් ලෙස රෝග නිවාරණය සඳහා අපගේ වගකීම යළිත් වරක් මතක් කර ගැනීම කාලෝචිත වනු ඇත.

දෑත් පිරිසිදුව තබා ගැනීම, මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස, උගුරේ අමාරුව, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් මිනිසුන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම, පුද්ගලයන් වැඩිපුර රැස් වන ස්ථානවලට නොයා සිටීම මෙම නිවාරණ උපායමාර්ග අතර වේ.

සෞඛ්‍ය උපදෙස් නියමාකාරව පිළිපැදීම නිසා පසුගිය මාස කීපය තුළ යම් ආකාරයක නිදහසක් භුක්ති විඳීමට ලක් වාසී සියලු දෙනාටම හැකි වූයේ මීට පෙර අප විසින්ම ක්‍රියාවට නංවන ලද රෝග නිවාරණ කටයුතු නිසා බැවින් යළිත් වරක් එම උපදෙස් වලට අනුගතවීම අපට අපහසු කාර්යයක් නොවනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිසා එළඹෙන කාල පරිච්ඡේදය පුරාවටම යළිත් වරක් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින්, අනවශ්‍ය ගමන් බිමන් හැකිතාක් අවම කරමින්, තමාට රෝග ලක්ෂණ ඇත්නම් අන් අය ආරක්ෂා වන පරිදි හැසිරෙමින්, යළිත් වරක් කොරෝනා ආසාදන තත්ත්වය රට පුරා පැතිරීම වැළැක්වීමට ඔබ, අප සැමගේම කාර්යභාරය ඉටු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලක්වාසී සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නෙමු.

                 

 

 

Exit mobile version