කොවිඩ් මළ සිරුරු ආදාහනයට පෙට්ටි සොයා ගැනීමේ ප්‍රශ්නයක් !

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී හෝ කොවිඩ් ආසාදිත බවට සැක සහිතව මිය යන, පවුලේ ඥාතීන්ට බාර නොදී ආදාහනය කෙරෙන මෘත දේහ බහාලීම සඳහා අවශ්‍ය පෙට්ටි අදාළ රෝගීන්ගේ ඥාතීන් විසින් සැපයිය යුතු වුවද මේ වනවිට පවතින ආර්ථික අපහසුතා නිසා එසේ මිය යන රෝගීන්ගේ පවුල්වලට ඒ වියදම දරා ගැනීමේ අපහසුතාවක් පවතින බවට ප්‍රකාශ වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

මෙලෙස මිය යන පුද්ගලයන් ආදාහනය කිරීම පමණක් සිදු කෙරෙන අතර එසේ ආදාහනය කිරීම සඳහා ආදාහනාගාරය මඟින් බාර ගන්නේ ලෑලි පෙට්ටිවල බහා ලූ සිරුරු පමණක් බැවින් මේ ගැටලුව උද්ගත වී ඇතැයි මෙම ආරංචි මාර්ග ලංකාසරට සඳහන් කළේය.

මෙම තත්ත්වය කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පදිංචිකරුවන් සම්බන්ධයෙන් විශේෂයෙන් උද්ගතව ඇති අතර පවුල්වල සමීපතයින් ඇතැම් විටෙක ලොක් ඩවුන් වූ ප්‍රදේශවල සිටීමද මේ තත්ත්වයට එක් හේතුවක් ව ඇති අතර මේ  පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත පෙට්ටි සපයාගෙන ඒවා ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශවලට සිදුව තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දිනයේද කොළඹ ජාතික රෝහලේ මිය ගිය පුද්ගලයන් කිහිප දෙනකු  සම්බන්ධයෙන්  මේ තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති අතර ඔවුන් ආදාහනය කිරීමට පෙර දේහය බහාලීමට රෝහල් බලධාරීන්ගේ මැදිහත් වීම මත පරිත්‍යාගශීලීයකුගේ සහය ලබාගෙන තිබේ. මෙවැනි ආර්ථික අපහසුතා ඇති පුද්ගලයන් ගේ සමීපතයින් මේ අයුරින් මිය යන විටෙක මෙම අවශ්‍ය පෙට්ටි සපයා ගැනීමට යම් වැඩ පිළිවෙළක් සපයන සෞඛ්‍ය අංශ සේවක රජයෙන් ඉල්ලා සිටිති.

Exit mobile version