කොවිඩ් මර්ධනයට නිරෝධායන පනතින් අපට බලය නොදෙන්නෙ චන්දෙ නිසා…

මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියයි.

upul-rohana

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

   ශ්‍රියානි විජේසිංහ –

 

කොවිඩ් මර්දනය වෙනුවෙන් නිරෝධායන ගැසට් පත්‍රයක් නිකුත් කිරීමත් සමග බෝවන රෝග පාලනයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකරුන් ඉවත් වුනේය. මේ ඒ හරහා පැන නැගී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන්   මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ   සමග ලංකාසාර  පැවැත් වූ සාකච්ඡාවකි‍

ප්‍රශ්නය –  නිරෝධායන ගැසට්ටුව හේතුවෙන්  ඔබ මතුකරන   ගැටලුකාරී තත්ත්වය  කුමක් ද?

පිළිතුර-   කොවිඩ් 19 වසංගතය පැමිණි මොහොතේ ඉඳලම රෝග පාලනය සඳහා  බිම්මට්මේ සිට කටයුතු කළේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්. අපි කිසිම දීමනාවක් ලබා ගත්තේ නැහැ. අපට අවම පහසුකම්වත් නැතිව තමයි අපි රාජකාරිය කළේ. ඒත් අපි කරපු රාජකාරිය අවතක්සේරු කරලා අද වනවිට සෞඛ්‍යය ඇමතිනිය නිකුත්කරලා තියෙන නිරෝධායන ගැසට් පත්‍රය මගින් අපේ රාජකාරිය අපට පවරලා නැහැ. ඇමතිතුමිය කියලා තියෙනවා මේ ගැසට්ටුව මගින්  කොවිඩ් 19ට අදාලව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට  බලතල පවරන්නේ  නැහැ කියලා


 ප්‍රශ්නය –  ඇමතිනිය එහෙම ප්‍රකාශයක් කළේ නැහැ කියලා කිව්වා නේද?

පිළිතුර –   ඇමතිනිය ඒ බව කීවේ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා. එතුමිය එහෙම කිව්වේ නැහැ කියලා කියනවා නම් නැවතත් ප්‍රසිද්ධ මාධ්‍යයට පැමිණිලා ඒ බව ප්‍රකාශ කරන්න කියලයි අපි කියන්නේ.

ප්‍රශ්නය –   බලතල නොපැවරීමට හේතුව කුමක් කියලද ඔබ හිතන්නෙ….  

පිළිතුර –  මැතිවරණ කාලයක් එළඹිලා තියෙන්නේ. නිරෝධායන පනතේ බලතල මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ට පැවරුවොත් වෙන්නේ දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි දේශපාලන රැලි නිදහසේ  පවත්වන්න බැරිවෙනවා. ඒ වගේම ගෙන් ගෙට කැන්වසින් යන එකත් සිමා කරන්න අපිට සිදුවෙනවා. මේක දේශපාලඥයින්ට අවාසියක්. අපි මෙතනදී බලන්නේ‌ කොවිඩ් උවදුරින් රට බේරගන්න මොනවද කරන්න ඔනේ කියලා මිසක් මීලඟට බලයට පත්කරන්නේ කවුදකියලා නෙවෙයි.

ප්‍රශ්නය –  ගැටලුවට හේතුව පැහැදිලිවම ඔබ දන්නවා නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනා කිරීමෙන් පලක් තියෙවනවද?

පිළිතුර –   අපට පනතේ බලය ලබා නොදෙන්න කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම ‌ප්‍රකාශ කලා. ඔවුන් සීත කාමර තුළ සාකච්ඡා කරද්දි අපි මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු වරප්‍රසාදයක් හෝ ලබා නොගෙන සේවය කළා.

ප්‍රශ්නය –   මහජන සෞඛ්‍ය පරික්ෂකරුවන්ට බලය ලබා නොදෙන්න කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ ඇයි?

පිළිතුර –   අපි මහජන සේවය ලබා දෙන්නේ බිම් මට්ටමේ සිටයි. අපි      මහජනතාව අතරට නිරන්තරයෙන්ම යනවා. අපිව මාධ්‍ය මගින් ජනප්‍රිය වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට මෙය දරා ගන්න බැහැ. ඒකයි ඒ අය අපේ බලතල සීමා කරන්නේ.

ප්‍රශ්නය –  කොවිඩ් රෝග මර්දන කටයුතුවලින් ඈත්වන බව ඔබ මුලින් සඳහන් කළත් පසුව සියලුම බෝවන රෝගපාලනයෙන් ඉවත් වීමට තීරණය කළා කියලා කීවා.  නමුත් අනෙකුත් බොවනරෝග පාලනයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ට බලය ලබා දීමක් කරලා තියෙනවා නේද?. එහෙම තියෙද්දි ඒවායින් ඉවත් විම අසාධාරණයි නේද?

පිළිතුර –  එක් එක් වෘත්තීය සමිතිවලට අවශ්‍ය ලෙස  අපි රාජකාරිය කරන්න ලෑස්ති නැහැ. සෞඛ්‍ය අමාත්‍යංශයේ යම් නිලධාරියෙක් හෝ ඇමතිවරිය කිසියම් වෘත්තීය සමිතියක ඉල්ලීම පරිදි කටයුතු කරනවා නම් ඒ කටයුතු හරහා අපගේ සේවයට බාධාවක් එල්ල වෙනවානම් අපි එයට විරෝධය දක්වන්න ප්‍රමාද වෙන්නේ නැහැ.

ප්‍රශ්නය –  ඔබලා බෝවන රෝග පාලනයෙන් ඉවත් වීම තුළ  රට පුරා බෝවන රෝග නැවත පැතිර යාමේ අවදානමක් තියෙනවා නේද?

පිළිතුර –  ඒහෙම අවදානමක් තියෙනවා. අපි එයට වගකියන්නේ නැහැ. 

ප්‍රශ්නය –  මේ වගේ බෝවන රෝගයක් රටපුරා පැතිර ගිය කාලවලදී රෝග පාලනයට  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මෙසේ බලය පැවරීමක් කරලා තියෙනවාද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිළිතුර –  අනිවාර්යෙන්ම එහෙම කරලා තියෙනවා. මදුරු මර්දන පනත, කොකුපනු රෝග මර්දන පනත හා මහාමාරියා මර්දන පනත මගින් අපිට බලය පැවරීමක් කරලා තියෙනවා. ඒ හරහා අපි රෝග පාලනයට බිම්මට්ටමේ සිට විවිධ වැඩසටහන් මෙහෙයවූවා. අපේ ඒ කැපවීම මත තමයි බෝවන රෝග රට පුරා පැතිර නොගොස් පාලනය කර ගැනීමට හැකිවී තිබෙන්නේ.

 

                            

 

  

 

Exit mobile version