කොවැක්ස් පහසුකම යටතේ ලංකාවට එන පළමු එන්නත් තොගය මාර්තු 07 දා

නතාෂා නෙත්මිණි-

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් මර්දනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදෙන 20%ක කොවැක්ස් පහසුකම යටතේ ලබාදීමට නියමිත එන්නත් තොගයෙහි පලමු කොටස වූ 264000ක එන්නත් ප්‍රමාණයක් මාර්තු 7 දින ලංකාවට ලැබීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ හලාවත මහ රෝහලෙහි පැවැති උත්සවයකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ ලංකාව ඇතුලුව ගෝලීය වශයෙන් කොවිඩ් පැතිරයාමේ යම් අඩුවීමක් පවතින බවත් ලෝකයේ එන්නත්කරණය ආරම්භ කළ පලමු රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබීම සතුටට කරුණක් බවත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මේවන විට ලෝකය පුරා කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 280ක ප්‍රමාණයක් ලබාදී ඇති අතර ඉන් 75%ක පමණ ප්‍රමාණයක් ලබාදී ඇත්තේ රටවල් 10කට පමණක් බවත් තවත් රටවල් 150ක පමණ ප්‍රමාණයක් කිසිදු එන්නතක් ලබාදීමට නොහැකිව සිටින බව අමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය.

ලංකාවේ එන්නත්කරණය ආරම්භ කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වය කැපවීම මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතු අතර එතුමාගේ සුවිශේෂී මැදිහත්වීම මත ජනවාරි මාසයේදී එන්නත්කරණය ආරම්භ කිරීමට හැකිවූ බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Exit mobile version