කුලියාපිටියේ පදිංචි තම පෙම්වතියගේ නිවසට ගොස්, මේ වන විට අතුරුදන්ව සිටින සුසිත් ජයවංශ නම් තරුණ ව්‍යාපාරිකයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය වයඹ පළාත් හිටපු මහ ඇමති අතුල විජේසිංහගෙන් පසුගිය බ්‍රහස්පතින්දා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.
හිටපු මහ ඇමතිවරයා මෙම අතුරුදන් වීමට යම් සබඳතාවක් ඇති බවට අදාළ විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇති තොරතුරු වලට අනුව, 30 හැවිරිදි තරුණ ව්‍යාපාරික සුසිත් ජයවංශ ගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා එනම් ඔහුගේ පෙම්වතියගේ පියා අදාළ පැහැරගැනීමට පෙර දින හිටපු මහ ඇමැතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව පරීක්ෂණ වලින් හෙලි වී තිබීම හේතුවෙන් එලෙස ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බව සඳහන් වේ.
අදාළ වාර්තාවේ සඳහන් වන පරිදි එම ප්‍රශ්න කිරීමේ දී, සැකකරු තම දියණියගේ ප්රශ්නය පිළිබඳව තමාගෙන් උපදෙස් විමසූ බවත් තමන් ඒ සම්බන්ධව නීතී උපදෙස් ලබා ගන්නා ලෙස දැනුම්දුන් බවත් මහ ඇමැතිවරයා ප්‍රකාශ කල බව පොලීසිය සඳහන් කරයි.
මේ වන විට මෙම සිද්ධියට හවුල් බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් දෙදෙනාට රුපියල් දහඅට දහසක මුදලක් ප්‍රධාන සැකකරු විසින් ගෙවා ඇති බව ද අනාවරණය වී තිබේ.
ඔවුන් දෙදෙනා ව්‍යාපාරිකයාගේ පෙම්වතියගේ පියාගේ නිවසේ සිට දුම්මලසූරිය පිහිටි ඔහුගේ මහ ගෙදරට අත් පා බැඳ වෑන් රථයක දමා ගෙන යෑමට එම මුදල් ලබා දී ඇති බව හෙලි වී ඇත.
කෙසේ වුවද සැකකරුවන් අත්අඩංගුවට පත් වන්නේ වැලිමඩ දී ය. ඔවුන්ට ලැබුනු මුදල ඒ වන විටත් බෙදාගෙන තිබූ බව අනාවරණය වී තිබේ. ඊට අමතරව මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුගේ වියපත් මව සහ බිරිඳගේ පියා ද අත්අඩංගුවට ගැනීමෙන් පසු ලබන මැයි 13 වන දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇති බව සඳහන් වේ.
කෙසේ නමුත් අතුරුදන් වූ තරුණ ව්‍යාපාරික සුසිත් ජයවංශ ගේ පෙම්වතිය, ප්‍රධාන සැකකරු වන ඇගේ පියා, ඔහුගේ බිරිඳ සහ අනෙක් දරුවන් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් පිළිබඳව හෝඩුවාවක් සොයාගැනීමට තවමත් පොලීසිය සමත් ව නැත.