කාබනික අකාබනික වෙනසත් විකල් කර රටට ඉන්තේරුවෙන්ම අන්නන හැටි… විද්වත්තු කියන කතාව!

ආචාර්ය සමන් ධර්මකීර්ති

අප දැන් රට පටලාගෙනය. කාබනික ගොවිතැන් කරන්නට යන අපේ කෘෂිකර්ම  ඇමතිට කාබනික අකාබනික වෙනස විද්වතුන් මොනතරම් කියා දෙන්න හැදුවත් අහන්නේ නැත. ඔහු දැන් මේ පොහොර ප්‍රශ්නය මොනතරම් පටලවාගෙන ඇතිදැයි දැනෙන්නේ ගොවීන් උද්ඝෝෂණය කරන විට බෙලරූස්වලින් ගෙන්වා ගොවීන්ට බෙදා දෙන්නට යන්නේ ගොයම පීදෙනවිට ගහන බණ්ඩිපොහොර බව ගොවීන්ම පාරට බැස කියන විටය.  දෙකොන මූට්ටු වී ඇති මේ පොහොර ප්‍රශ්නය කුමක් ද?. කාබනික අකාබනිකය යනු කුමක් ද?. කාබනික ගොවිතැනක් යනු කුමක් ද?. මේ පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පාංශු විද්‍යා දෙපාරත්මේන්තුවේ අංශ ප්‍රධානී ආචාර්ය සමන් ධර්මකීර්ති විමසුවෙමු.

මේ ඔහු ඒ සම්බන්ධයෙන් ලංකාසර හා කළ සාකච්ඡාවය.

ශාක හා සත්ත්ව කොටස් වලින් සමන්විත ශාක හා සත්ත්ව මූලාශ්‍රයකින්  කාබන් හා හයිඩ්‍රජන් අඩංගු ද්‍රව්‍ය  කාබනික ද්‍රව්‍ය වේ. තවත් විදියකට කිව්වොත් ඓන්ද්‍රීය ද්‍රව්‍ය සියල්ල කාබනික ද්‍රව්‍ය වේ. ඓන්ද්‍රිය ද්‍රව්‍ය නොවන සියලු දේ අකාබනික යි.


නමුත් ඇතැම් විට ඓන්ද්‍රීය ‍ද්‍රව්‍ය නැතිව කාබන් තියෙන දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට ඩොලමයිට්. ඩොලමයිට්වල කාබන් තියෙනවා. මැගිනීසියම් කාබනේට් සහ  කැල්සියම් කාබනේට් විදිහට කාබන් තියෙන්නේ.  නමුත් කාබන් එන්නේ ඓන්ද්‍රීය කොටස්වලින් නොවන නිසා ඒ පොහොර අකාබනික යි.

තවත් විදිහකට කිව්වොත් කාබනික සම්භවයක් නැති සියල්ලම අකාබනික යි. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ අකාබනික දෙයක්.  මියුරේට් ඔෆ් පොටෑෂ් කියලා අප හඳුන්වන්නේ   පොටෑසියම් ක්ලෝරයිඩ් තමයි.  මියුරේට් ඔෆ් පොටෑෂ්වල  අකාබනික යි.

ඒ කියන්නෙ ඉතාම සරලවම කිවුවොත් මේ ගෙනාපු පොහොර කාබනික නෙමෙයි. මේ පොහොර නිවැරදි ඇති. නමුත් මේ පොහොර කාබනික ලෙස හැඳින්වීම වැරදියි.

කාබනික ගොවිතැනේදී ස්වභාවික ක්‍රියාවලින්ගෙන් යුක්ත ගොවිතැනක් තමයි සිද්ධවෙන්නේ. එහිදී පිටින් කෘෂි ක්ෂේත්‍රයට යොදන යෙදවුම්    අවම කරනවා.  මේ ගොවිතැනේ දි අකාබනික ද්‍රව්‍ය වූවත් ස්වභාවික පරිසරයේ තියෙනවා නම් එය භාවිත කරන්න පුළුවන්.

කාබනික ගොවිතැන කියන්නෙ පසේ නීරෝගීතාවය උදෙසාත් නිරෝගී ජනතාවක් උදෙසාත් සිදුකරන ගොවිතැනක් කියලා හඳුන්වන්න පුලුවන්.

නිරෝගී පරිසර පද්ධතියකින් නිරෝගී ජනතාවක් උදෙසා තිරසාර වූ නිෂ්පාදන ක්‍රියාවලියක් කාබනික ගොවිතැනක් ලෙස නිර්වචනය කරන්න පුළුවන්.

මේ ගොවිතැන පදනම්ව ඇත්තේ පාරිසරික ක්‍රියාවලියක ජෛව විවිධත්වය ආරක්ෂාව උදෙසායි.  ඒ වගේම ඒ බිම තුළම චක්‍රීකරණය සිදුවීම අපේක්ෂා කරනවා.  මේ  ගොවිතැනේ දි පිටතින් යෙදවුම් යොදා නොගෙන කාබනික කෘෂි යෙදවුම් පමණක් භාවිත කරමින් ස්වභාවික ක්‍රියාවලියක් ඇති වීම සඳහා අවශ්‍ය පසුබිම හදනවා.

සෞඛ්‍ය සම්පන්නබව උදෙසා සිදුවන මෙම ක්‍රියාවලියේදී ස්වභාවිකවම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා   ජීවි විවිධත්වය   මූලික කරගත් චක්‍රීකරණයක් එකම භූමියක් තුළ සිදුවීම අපේක්ෂා කරනවා. මේ ක්‍රියාවලියෙ දි කාබනික ද්‍රව්‍ය බහුල කිරීමක් තමයි සිද්ධ වන්නේ

රිතීන්  ලෙස අවධානය යොමු කළත් මෙම ගොවිතැනේ දී කාබනික යෙදවුම් පමණක් භාවිත කිරීම මතුකර පෙන්වා දිය හැකියි. පිටතින් යොදන යෙදවුම්වලින්   පරිසර සමතුලිත බව බිඳෙනවා. ඒ නිසා සමතුලිත පාරිසරික පද්ධතියක් පවත්වාගෙන යන්න පුළුවන් වන්නේ කාබනික යෙදවුම් පමණක් භාවිත කිරීමෙන් පමණයි. එවිට සියල්ල අනුගත වන්නේ ඒ සඳහා පමණයි

ඛණිජ පොහොර කාබනික ද අකාබනික ද යන ගැටලුවේදී ඛණිජමය ප්‍රභවයකින්  ගන්න පොහොර කාබනික ලෙස එකවරම හඳුන්වන්න පුළුවන් කමක් නෑ. මොකද බොහෝවිට ඛණිජවල පෝෂක සුලභතාවය      වැඩිකිරීමට රසායනික ක්‍රියාවලියක් සිදුවෙනවා.  එවිට මේ පොහොර   කාබනික ද කාබනික ද කියන ප්‍රශ්නය   එනවා.

ඒ අවස්ථාවකදී ගන්න ඕනේ කාබනික කියන පදය  සම්බන්ධව  නිර්වචනය.   ඓන්ද්‍රීය ද්‍රව්‍යවලින් හැදුණු දේ කාබනික ද්‍රව්‍ය ගොඩට එකතු වෙනවා. නමුත් ඛනිජ  කාබනික නෙවෙයි.  නමුත්  කාබනික වගාවට යොදා ගත හැකියි.

ඛනිජ වලින් ගන්න කොටස්  සංස්ලේෂණය වෙලා නැත්නම් ඒ ස්වභාවික  ඛනිජ ද්‍රව්‍ය කාබනික ගොවිතැනට යොදවන්න පුළුවන්.  ඒ කියන්නේ කාබනික ගොවිතැනේ දී ඛනිජයේ දීම අනුමත කරනවා. උදාහරණ විදිහට එප්පාවල පොස්පේට් නිධියේ ඩොලමයිට් ඒ විදිහටම භාවිත කරන අවස්ථාවල් තියෙනවා.

එහෙත් මේ ගෙන්වූ පොටෑසියම් ක්ලෝරයිඩ් ස්ලේෂණය කරද්දි තමයි පොටෑසියම් වැඩි කරල අපද්‍රව්‍ය ඉවත් කිරීමකුයි සිද්ධ වන්නේ. එවිට ඒවා සංස්ලේශිත පොහොර බවට පත්වෙනවා.   එතකොට අපි කරන්නෙ කාබනික වගාවක් නම් එම ඛණිජ පොහොර කාබනික වගාවට යොදා ගන්න බෑ.

පොටෑසියම් ක්ලෝරයිඩ් ඛණිජ පොහොර… බෙලරූස්වලින් ගෙනාවේ මෙම පොහොරයි..

වී කරල නැවිලා එද්දි  ගහන පොහොරට ගොවියො කියන්නෙ  බන්ඩි පොහොර කියලා. ඒ පොහොර තමයි මේ.  මේ වට ගොවිතැනේදී රතු පොහොර කියලා ගොවියො කියනවා.  පොටෑසියම් පොහොර නයිට්‍රජන් පොහොර වෙන වෙනම බන්ඩි පොහොර විදිහට හඳුන්වන අවස්ථා තියෙනවා. පොටෑසියම් හා නයිට්‍රේට් මිශ්‍රණයක් ලෙස බන්ඩි පොහොර  එන වෙලාවල් තියෙනවා.

වැදගත්ම දේ.  වී වගාවෙදි පස සකස් කරනකොට පොටෑසියම්  යොදා ගන්නේ නෑ. පොටෑසියම් අවශ්‍යවන්නේ කරල පීදෙනකොට.    නමුත් අල වගාවේදී එළවළු වගාවෙදි   වගේ අවස්ථාවන්වල දි බිම සකස් කරගන්න කාලෙට පොටෑසියම් ලබා දෙන්න පුළුවන්.

දැන් මේ පොහොර සම්බන්ධ  ප්‍රශ්නයට වෙලා තියෙන්නෙ කුමක්ද?

සැබෑ පොහොර ප්‍රශ්නය කියන්නේ ශාක පෝෂක කළමනාකරණය පිළිබඳ නිසි ඇගයීමක් නොකර වැරදි රාජ්‍ය ප්‍රතිපත්ති සහ වැරදි තීරණ ගැනීම මත ඇතිව තිබෙන අර්බුදයක්. ලංකාවට පොහොර කොපමණ අවශ්‍ය ද යන්න ගැන පවා නිසි ඇගැයීමක් අද වන විට නැහැ. වගාව සඳහා පෝෂක කළමනාකරණ යෙදවුම් සම්බන්ධයෙන් නිසි ඇගයීමක් කර තිබිය යුතුයි.

කෙටියෙන්ම කියනවනම් ලංකාවේ සමස්ත වගාව සඳහා කොපමණ පෝෂක යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍යද, ඒවා සපයා ගන්නේ කෙසේද, දැනට ලංකාව සතුව ඇති පෝෂක යෙදවුම් ප්‍රමාණය කොපමණද,  අඩුවක් ඇත්නම් එය සපුරා ගැනීම සඳහා ආනයනය කරන්නේ කෙසේද, ලංකාව තුළ නිෂ්පාදනය කළ හැකි නම් ඒ ප්‍රමාණයන් කොපමණ ද යන්න නිශ්චිත පැහැදිලි ඇගයීමක් සිදු කොට තිබිය යුතුයි. එවැනි නිසි ඇගයීමක් නොමැතිව   තීරණ ගැනීම නිසා අද වන විට රට විශාල අර්බුදයකට ගිහින් තියනවා.

ලංකාවේ කාබනික පොහොර කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා කෙනෙක් ඇහුවොත් හරියටම  කවුරුත් දන්නේ නැහැ කොහෙද පොහොර තිබෙන්නේ මොන ප්‍රමාණවලින් තියනව ද කියලා.  ලංකාවේ කාබනික පොහොර තියෙන ප්‍රමාණයන් හරියට දන්නවනම් ඒවා යෙදවිය හැක්කේ මොන බෝගවලට ද කියලා හරි නිශ්චිත අවධානයක් යොමු කරන්න තිබුණා.

තියෙන කාබනික පොහොර ප්‍රමාණය අඩු වෙනවා නම් මොන වගේ කාබනික පොහොර ද ආනයනය කරන්නේ කියන කාරණාව ගැන හෝ අවධානය යොමු කරන්න තිබුණා. පොටැසියම් පිටින් ගෙන්වනවා. පොස්පරස් ලංකාවෙ තියෙනවා.  ඒත් නයිට්‍රිජන් ප්‍රමාණවත් ලෙස ලංකාවේ ගොවීන්ට ලබා දෙන්න කොහෙවත් නැහැ.

බිම් සකසන වෙලාවේ බණ්ඩි පොහොර පටවාගෙන ගොවිබිම්වලට යන ලොරි…

දැන් මේ බරපතල ලෙස ඇතිවෙලා තියෙන්නේ නයිට්‍රිජන් පෝෂකය කළමනාකරණය කර ගැනීමේ නොහැකියාව.  නයිට්‍රජන් පෝෂකය වැඩිකරගන්න ලංකාවට ගේන්නේ මොන තත්වෙන් ද කියන ප්‍රශ්නය දැන් තියෙනවා. මොකද ලංකාවේ නෛතික රාමුව අනුදත් ප්‍රමිතිය අනුව කාබනික පොහොර ලංකාවට ගේන්න බැහැ.  ඒ මදිවට ගැසට් නිකුත් කළා  රසායනික පොහොර ගෙන ඒම තහනම් කරලා. දැන් උවමනා වුණත් රසායනික පොහොර ගේන්න නම් නැවත ගැසට් එකක් ගහන්න වෙනවා.

දුරදිග නොබලා ගන්න තීරණ කොයි තරම් නම් අර්බුද ඇති කරනවද? දැනුම බුද්ධිය ඇති විශේෂඥයො මේ අර්බුදය ගැන මුලින්ම කිව්වා. ආර්ථික, පාංශු  ක්ෂුද්‍රජීවී, විද්‍යා විෂය පථය ගැන ප්‍රමාණික අවබෝධයක් ඇති,  පොහොර යෙදවුම් ඇතුළු හැම ක්ෂේත්‍රයකම විශේෂඥ දැනුමක් ඇති   බුද්ධිමතුන්  මේ ගැන පුන පුනා කිව්වා. කරුණු පැහැදිලි කළා. නමුත් කවුරුන් හෝ ගත්තු තීරණයක් මත දුරදිග නොබලා වැඩ කිරීම හේතුවෙන් දැන් දැවැන්ත අර්බුදයක් ඇති වෙලා තියනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන්වත් සිදු වුණු දේ ගැන විමසිල්ලෙන් බලා  විද්වතුගෙන්    විමසා කටයුතු කළොත් ලංකාවේ පොළොවත්, ලංකාවේ ගොවිතැනත් ආරක්ෂා කරගන්න පුලුවන් වෙයි

Exit mobile version