කල්ගන්න ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉවත්කර RDA වෙත පවරා ගැනේ

ඉදිකිරිම් ප්‍රමාද වී කල් ඉල්ලා තවමත් ඉදිකිරිම නිම නොකරන ලද මාර්ග කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉවත්කර මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගන්නා බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙසේ ඉදිකිරිම් කල් දමමින් සිටින කොන්ත්‍රාත්කරුවන්ව මහාමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි ව්‍යාපෘති සදහා සම්බන්ධ කර නොගැනීමටද අදහස් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

විශේෂයෙන්ම ඉදිකිරිම් කටයුතු නියමිත දිනට අවසන් නොකර තවත් කල් ඉල්ලා තවමත් මාර්ගවල ඉදිකිරිම් ප්‍රමාද කරන ආයතන ගැන වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස් ලබා දෙන ලදී.


සමහර මාර්ගවල ඉදිකිරිම් 2018දී අවසන් කිරිමට තිබුණත් තවමත් ඉදිකර නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ මාර්ග සංවර්ධනය වේගවත් වී තිබෙනවා. කොන්ත්‍රාත් කරන ඔබතුමන්ලාට ප්‍රශ්න තිබෙනවා නම් කෙලින් කියන්න. වැඩ ප්‍රමාද උනාම ඒක රටටත් ජනතාවටත් හොද නෑ. ඔබතුමන්ලාටත් හොද නෑ. ටෙන්ඩර් දානකොට කරන්න පුළුවන්ද කියලා බලල දාන්න. වැඩ පහුවෙනකොට නාස්ති වෙන්නේ ජනතා මුදල්. ඒ නිසා මේ ව්‍යාපෘති කඩිනමින් ඉවර කරන්න. තවත් කල් දෙන්න බෑ. අපි ජනතාවට වගකියන ආණ්ඩුවක්. මේ පාරවල් ටික ප්‍රමිතියකට හා ඉක්මනින් හදලා ඉවරකරලා ජනතා අයිතියට පත් කරන්න ඕනේ. ඉදිරියේදී වැඩ ගොඩක් තියෙනවා. ඹබතුමන්ලා වැඩ පමා නොකර ඵලදායි, කාර්යක්ෂමව හා ප්‍රමිතියෙන් වැඩ කරලා රටේ සංවර්ධනයට දායකත්වය දෙන්න.”

ඔහු මේ බව සදහන් කලේ මාර්ග සංවර්ධන අධීකාරිය මගීන් මාර්ග ඉදිකිරිම් හා සංවර්ධනය කිරිම සදහා ක්‍රියාත්මක කරන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතියේ (i – Road) ඉදිකිරිම් ප්‍රමාද වී ඇති මාර්ග වල කොන්ත්‍රාත් ලබාගෙන ඇති කොන්ත්‍රාත් ආයතන සමග මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ ඊයේ (30) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සදහා මාහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, මහාමාර්ග අමාත්‍යාංශයේ සැළසුම් අධ්‍යක්ෂ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහභාපති චමින්ද අතුළුවගේ මහතා, අධ්‍යක්ෂ ජනරාල්, ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරින් මෙන්ම කොන්ත්‍රාත් සමාගම්වල නියෝජිතයෝද සහභාගි වූහ.

Exit mobile version