කරුණාකරලා වැඩේ හරියට කරන්න… මට තීරණයක් ගන්න ඉඩ තියන්න එපා… ජනපති මහින්දානන්දට දන්වයි!

කාබනික පොහොර නාඩගම කෙළවර මහින්දානන්ද හොඳටෝම නා ගත් හැටි පුවත්පත් හෙළි කරයි!

කාබනික පොහොර පිළිබඳව මේ වනවිට රට තුළ ඇතිවී තිබෙන අප්‍රසාදය භාර ගන්නා ලෙසත් යමක්   හරියට කරන්නට බැරිනම්  ඒ බැරිකම පිළිබදව තීරණයක් ගන්නට  සිදුවන බවත්   තමන්ට යළිත් මේ පිළිබඳව කියන්නට ඉඩ නොතබන ලෙසත්    ජනපති ගෝඨාභය රාජපක්ෂ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේට දන්වා ඇතැයි අරුණ දිනපතා පොලිටික්ස් වාර්තා කරයි.

එම වාර්තාවේ මෙසේ දැක්වේ.

ඇල්ලේ හිමියන් බැහැදැක පැමිණි විගස ජනාධිපති ගෝඨාභය කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට දුරකථනයෙන් අමතා ඇත. ආරංචි මාර්ග පවසන පරිදි කාබනික පොහොර පිළිබඳ මේ වන විට සමාජයේ ඇති වී ඇති අප්‍රසාදය පිළිබඳ වගකීම භාරගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම ඇමැතිවරයාට දොස් පවරා තිබේ.


කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ ජෙනරාල් සුමේධ පෙරේරා එම ධුරයෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම ඇමැතිවරයාට තිබුණු තදියම පිළිබඳ ද ජනාධිපතිවරයා මෙහිදී දැඩි සේ වි‍වේචනය කර ඇත.

ජෙනරාල් සුමේධ පෙරේරා යනු යාපනේ කොටුව කොටි ග්‍රහණයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම හා සරසාලේ යුද මෙහෙයුම දියත් කළ රණ විරුවා වේ. ඒ හැමටම වඩා සුමේද පෙරේරා කෘෂිකර්මාන්ත පිළිබඳ හසල දැනුමක් ඇති මහා ගොවියකු ලෙසද ප්‍රචලිතය.

දුම්බර මිටියාවතේ ඔහු විසින් වගා කර ඇති මහා කෙත් යාය ඊට කදිම උදාහරණ සපයයි. නමුත් මහින්දානන්ද දිගින් දිගටම පසු ගිය කාලේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ “සුමේධ එක්ක මේ කාබනික පොහොර ව්‍යාපෘතිය කරන්න බෑ. එයට තමන්ගේ මිනිහෙක් දාගන්න ඕන“ කියාය.

අවසානයෙදී ජනාධිපතිවරයා මහින්දානන්දගේ වදෙන් ගැලවෙන්න බැරි තැන සුමේධ ඉවත් කර මහින්දානන්දට අවශ්‍ය කෙනා දා ගැනීමට ඉඩ සැලසීය. පත් වූ වහාම මහින්දානන්දගේ ලේකම් කාබනික පොහොර ගැන ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ‘‘It’s a simple thing, sir’’ කියායි. රටට අවශ්‍ය කාබනික පොහොර සියයට සීයම රට තුළ නිෂ්පාදනය කළ හැකි බවට ඔවුහු පම්පෝරි ගැසූහ.

නමුත් දිගින් දිගටම දිග්ගැස්සෙන පෝර අර්බුදය හමුවේ ගොවි උද්ඝෝෂණ දිනෙන් දින වැඩි වන විට මහින්දානන්ද හා ඔහුගේ ලේකම් කියා සිටියේ රටේ පෝර අවශ්‍යතාවෙන් සියයට 25ක ප්‍රමාණයක් පමණක් ඔවුනට නිපදවිය හැකි බවයි.

මේ සියලු දේ බලා සිටි ජනාධිපතිවරයා අවසානයේ මහින්දානන්දව ඇමතීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‘‘මහින්දානන්ද, ඔයා මට කිව්වනේ සුමේධ එක්ක මේ වැඩේ කරන්න බෑ කියලා. එතුමා අයින් කරලා දෙන්න කියලා. කෝ දැන් එතුමා නැති වුණාම ඔයා වැඩේ හරියට කළාද?. මම ඔයාට කිව්වනේ මේ වැඩේ ගැන දැනුම් තේරුම් තියෙන මිනිස්සු ටිකක් දාගෙන මේ වැඩේ පටන් ගන්න කියලා. නමුත් ඔයාට තාමත් මේ වැඩේ කරන්න බැරි වුණා. මේ වැඩේ කරන්න පුළුවන් මිනිහාවත් ඔයා අයින් කර ගත්තා. මේ ගැන මට ආයිත් වතාවක් කතා කරන්න තියන්න එපා. කරුණා කරලා මේ වැඩේ හරියට කරන්න. නැත්නම් මට තීරණයක් ගන්න වෙනවා’’ යැයි කියමින් ජනාධිපතිවරයා දුරකථනය විසන්ධි කර ඇත.

 

Exit mobile version