ලලිත් චාමින්ද –
ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ අලුතින් ඉදිකරණු ලැබු වකුගඩු හා රුධිරවාහිනී බද්ධ කිරිමේ ඒකකය තුළ ස්ථාපිත කොට ඇති ශල්‍යාගාර දෙකේ වැඩ අවසන්කොට රෝහලට භාරනොදීම නිසා එම ශල්‍යාගාර තවමත් ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී ඇත.
මේ නිසා වකුගුඩු හා නහර බද්ධ කිරිමේ සැත්කම් රෝහලේ වෙනත් ශල්‍යාගාරවල දි සිදු කෙරේ. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු අවසන් කිරිමට ප්‍රථම රක්ත කාන්දු පෙරණ ඒකකයට සහ වකුගඩු රුධිර වාහිනි බද්ධ කිරිමේ ඒකකයට අවශ්‍ය රුපියල් මිලියන 198.86ක් වු ශල්‍ය හා වෛද්‍ය උපකරණ හා කාර්යාල උපකරණ මිලදිගෙන තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එම උපකරණ ගොඩනැගිල්ලේ තැනින් තැන ගොඩගසා නිෂ්කාර්යයව පැවති බවද විගණනය මගින් ආනාවරණය කොට ඇත. එමෙන්ම ගොඩනැගිල්ලේ ස්ථාපිත කරතිබු මධ්‍යගත වායු සමීකරණ පද්ධතිය තුළින් ජලය ගොඩනැගිල්ලේ අභ්‍යන්තර ස්ථානවලට කාන්දු වෙමින් පැවති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ වෙනුවෙන් කොන්ත්‍රාත්කරුට ගෙවා තිබු රුපියල් මිලියන 73.45ක මුදල නිෂ්කාර්ය වියදමක් වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙම ඒකකය මහල් අටකින් සමන්විත වන අතර ඒකකය තුළ වකුගඩු රෝගින් වෙනුවෙන් වාට්ටු හතරක් සහ සායන හයක් ක්‍රියාත්මක වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත්තේ විගණන නිරික්ෂණ සමග එකඟ නොවන බවත් මෙහි කොන්ත්‍රාත් පාලනය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරණු ලබන බවත්ය. මේ පිළිබද කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය එස්.පි.යු.එම් රංගගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.
“ශල්‍යාගාර දෙක තව මාස එකහමාරකින් පමණ ප්‍රයෝජනයට ගන්න පුළුවන් වේවි. ශල්‍යාගාරවල තියෙන අඩුපාඩුකමක් හේතුවෙන් තවම ශල්‍යාගාර දෙක රෝහලට භාරදිලා නැහැ. වායු සමිකරණ පද්ධතියේ තිබු ගැටලුවත් නිවරදි කරලා තියෙන්නේ. මිලදී ගත් ඇතැම් උපකරණ රෝහලේ වෙනත් අංශ සඳහා ලබාදිලා තියෙනවා.” රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.







