කන්න හාල් මිටක් නෑ… කටු අල හොයාගෙන දිඹුලාගල කැලෑ පීරන දළුකානේ ආදිවාසී ඇත්තෝ….

මනම්පිටිය නිමල් ජයරත්න –

හාල් ඇතුළු අත්‍යවශ්‍ය ‍ ද්‍රව්‍ය ලබා ගැනීමට පවතින ආර්ථික අහේනිය නිසා දලුකාන ගම්මානයේ ආදිවාසි පවුල් 10කට ආසන්න පිරිසක් දින කිහිපයක සිට දිඹුලාගල කන්ද සහ අවට කැලෑ පීරා මහ පොළොව හාරමින්  කටු අල, ඇතුළු අල වර්ග ගෙනවිත් තම්බා දී තම දරු පවුල් පෝෂණයය කරන සිද්ධියක් දිඹුලාගලින් වාර්තා වේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රුපියල් දෙසීයක්  දී හාල් කිලෝවක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයට ආදිවාසී ජනතාව පත්ව ඇති බවත් මේ දිනවල කුලී වැඩ නොමැති නිසාත්, අඛණ්ඩව පැය කිහිපයක් විදුලිය කැපීම නිසා විදුලියෙන් වැඩ සිදුකරන ආයතන වලට කම්කරුවන් ලෙස වැඩට නොගන්නා මට්ටමක් උද්ගතවී ඇති නිසාත්  මේ තත්වය ඇති වී තිබෙන බව දලුකාන ආදිවාසි නායිකා    58 වියැති කේ.ලිසිනෝනා  සඳහන් කළාය.

කේ.ලිසිනෝනා

කුඹුරු ඉඩම් ද නොමැති දිඹුලාගල කොට්ටාසයේ දලුකාන, යක්කුරේ, ඉහළ යක්කුරේ, ඇල්ලේවැව මහදමන, කුඩාවැව, කොළකන වාඩිය, ඇතුළු ගම්මාන 8 ක තම ආදිවාසි පවුල් 4400 කට ආසන්න සංඛ්‍යාවක්  වෙනුවෙන් අදහස් දැක්වූ දලුකාන ආදිවාසි නායකා කේ ලිසී නෝනා  මෙලෙස ද සඳහන් කළාය.


“ අපි දැන් දින දෙක තුනක ඉඳලා  දිඹුලාගල  කන්දේ කැලෑ   පීරලා කටුවල හොයාගෙන ඇවිත් තම්බලා   පොල් කෑල්ලක් එක්ක දරුවන්ට දුන්නේ. අලවර්ග, කොළ වර්ග, කැලෑ ගෙඩි වර්ගවලින් අපේ ආදී මුතුන් මිත්තෝ බඩ පුරවා ගත්තා.    නමුත් අලුත් කට්ටිය   බත් කාලා හුරුවෙලා, තුන්වේලටම බත් කන්න ඕනේ. “

“ඒත්  දවසකට හාල් කිලෝවක් ගන්න තරම් අපිට වත් කමක් නෑ. අපිට කුඹුරු ඉඩම් නෑ. ඒ නිසා දලුකාන ගම්මානයේ ආදිවාසි පවුල් අටක් නමයක්  විතර මේ දිනවල කැලෑ වල ගිහිල්ලා දිඹුලාගල කන්දේ ගිහිල්ලා   කෑමට සුදුසු හැම අල වර්ගයක්ම හාරාගෙන එනවා. ඒවා කාලා තමයි අපි ජීවත් වෙන්නෙ.“

කැලෑ අල කෑම වේල…

“රජයෙන් කියලා අපිට කිසිම සහනයක් ලැබුණේ නැහැ. අපි අපේ දුක්ගැනවිල්ල  ආදිවාසී නායක ඇත්තන්ටත් ඉදිරිපත් කළා. හෙට, අනිද්දා ,අපිට කියලා අවුරුද්දක් එනවා. මේ දරුවන්ට කිරිබත් කෑල්ලක්වත් කන්න හාල් ටිකක් අපිට නැහැ.“   ආදිවාසී නායකා ලිසීනෝනා  එලෙස තම වර්ගයාගේ  දුක් ගැනවිල්ල ඉදිරිපත් කළාය.

“අපි මහත්තයෝ ගෑස් පෝලිම් වල නං යන්නෙ නෑ. අහල පහල කැලේට ගිහිල්ලා දර මිටියක් ගෙනවිල්ලා තමයි ලිපේ තියෙන දෙයක් උයාගෙන කන්නේ. සමහර අය මොනරාගල කුලියට බඩඉරිඟු කඩන්න යනවා දැන් ඒවත් නැහැ.“   ලිසී නෝනා මහත්මිය හඬා වැලපෙමින් කීවාය.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ආදි වූ ආදිවාසී ජනතාව  මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ   දලුකාන ගම්මානයෙ සිවුදරු පියක්වන 70 වියැති  රෝසප්පුගේ පුංචි බණ්ඩා   මෙලෙස කීවේය,

රෝසප්පුගේ පුංචි බණ්ඩා

“ අපේ තාත්තලා අම්මලා ඉස්සර කැලෑ පොජ්ජේ මංගච්චල තමයි අල පොජ්ජ කොටා බෑවේ, දැන් ඉන්න කැකුලු කැකුලියන්ට අල, කොළ, ගෙඩි කොටා බාලා පුරුදු නෑ, එවුන්ට තුන් වේලම බත් තමයි ඕනේ, ඉතින් මම හාල් කිලෝවක් රුපියල් දෙසීයකට අරන්  ඇවිල්ලා උන්ට එක් වේලක් කන්න දීලා කටුවල කන්නත් පුරුදු කරනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපිත් දැන් ආයෙත් ඒ කාලෙට  හුරුවෙලා කැලෑ කොළ, අල, කාලා කොහොම හරි ජීවත් වෙන්න ඕනේ. මේවේ වස විස නැති නිසා අපිට ලෙඩ දුක් නෑ. කැලෑ කොළ, ගෙඩි, අල, කාලා ඉන්න කොට ආයුෂ වැඩි වෙනවා. මට දැන්  අවුරුදු හැත්තෑවක් වෙනවා. කිසිම ලෙඩක් දුකක් හැදිලා බෙහෙත් පෙත්තක් බීල නෑ තවම.  අපේ අම්මලා තාත්තලා ඒ කාලේ දුන්නෙ මේ කැලෑ කොළ ගෙඩි තමා, “.

Exit mobile version