කථිකාචාර්යවරියකට පහර දී වන අලියා නිලධාරීන්ට ඉගැන්වූ පාඩම

දිනසේන රතුගමගේ:

කිළිනොච්චියේ විශ්ව විද්‍යාල මණ්ඩපයක් ඉදි කෙරුණේ අරිවියල් නගර් ප්‍රදේශයේය. යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධව කිළිනොච්චියට විශ්ව විද්‍යාල මණ්ඩපයක් ලැබුණේ සංවර්ධන කටයුතු වල ප්‍රතිපලයක් වශයෙනි.

අපේ රටේ සංවර්ධන ක්‍රියාදාමයන් සිදු වෙද්දී ඒ පිළිබදව කෙරෙන මූලික සක්‍යයතා අධ්‍යයනයන් ඇත්තේ ඉතාම පහත් අඩියකය.


මහ කැළයක් විනාශ කොට විශාල ගොඩනැගිලි කීපයක් ඉදිකිරීම සංවර්ධනය ලෙස ඒ විද්වතුන් අර්ථ දක්වනු ලැබූවද ඒ අවට පරිසරය භූ විෂමතාවය ජෛව විවිධත්වය යන කිසිදු කාරණයකට මුල්තැනක් නොලැබෙයි.

යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත කිළිනොච්චිය විශ්ව විද්‍යාල මණ්ඩපයද රටේ සංවර්ධනයේ මේ නීතීන්ට හා රීතීන්ට අනුව ලැබුණු ස්ථානයකි.

වන්නියේ ඉපැරණි මිනිසුන් හේන් කෙටීමේදී පුරා වසරක් මුලුල්ලේම ආධ්‍යයනය කරණු ලබන්නේ හේනට එන ප්‍රධාන බාධයන් පිළිබදවය. බවබෝග වලින් සැපිරෙන හේන වන සතුන් විනාශ කළ හොත් වසරක්ම කුස ගින්නේ සිටීමට සිදුවන නිසා හේන් ගොවියෝ සතා සිව්පාවාගේ ගමන් විලාශය කෙරෙහි විශාල අවධානයක් යොමු කරණු ලබයි.

මේ වන සතුන් අතරින් අලියා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්නේ අලියා හේනට කඩා වැදුණහොත් එක රැයකින් මුලු හේනම කම්බස් වීමත් අතර මගදී අලියා මුණ ගැසුණොත් ගොවියාගේ ජීවිතය කම්බස් වන බව දන්නා නිසාය.
මේ හේතුව නිසා වන අලි ගමන් කරණ අලිමංතලව්වේ කිසිම දෙයක් සිදු නොකරයි.අලිමංතලව්ව ඇත්තේ වන අලියාට නිදහසේ කැලෑ කොල කා ගොස් වැවෙන් වතුර පොදක් බී ගිමන් හැරීමටය.

ගොවියා වන අලිමංතලව්වේ කිසිවක් නොතැනුවත් නවීන ලෝකයේ සිටින සංවර්ධන කටයුතු පිළිබදව වූ ඔස්තාර්ලා සංවර්ධන ගොඩනැගිලි ඉදිකිරීමේදී මේ අලිමංතලව්වන් ගැන කිසිම අවධානයක් යොමු කරණු නොලබයි. කිළිනොච්චිය විශ්ව විද්‍යාල මණ්ඩපය එවැනි තැනක ඉදිකිරීමේ ප්‍රතිපලය වූයේ එම විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියකට සිය තරුණ ජීවිතය අහිමි වී යාමයි.

කිළිනොච්චියේදී පමණක් නොව මත්තලදී හම්බන්තොටදී වවුනියාවේ බෝගස්වැවදී මිනිසුන් වන අලින්ගේ ප්‍රහාරවලට ලක්වන්නේ අලිමංතලව් පිළිබදව නොතකා කළ ඉදිකිරීම් නිසාය.

කිළිනොච්චිය විශ්ව විද්‍යාල මණ්ඩපයේ තාක්ෂණ විද්‍යාව පිළිබදව කථිකාචාර්යවරියක් ලෙස ගායත්‍රී දිල්රුක්ෂි පැමිණෙන්නේ වසර එකහමාරකට පමණ ඉහතදීය.ඒ ඇයගේ වයස අවුරුදු තිහේදීය.කොළඹ කැළණිය කැළණිමුල්ල ඇගේ ගම් පියස වූවත් ඇය ඉංජිනේරු උපාධියක් ලබන්නේ මොරටුව විශ්ව විද්‍යාලයෙනි.

දිල්රුක්ෂිගේ විෂය පථය තාක්ෂණ විද්‍යාව වූවත් ඇය බෞද්ධාගම කෙරෙහි දක්වා ඇත්තේ දැඩි විශ්වාසයකි.ඇගේ ඇල්බමයකින් හමු වූ ඡායාරූපවලින් බොහොමයක් ගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ නානාවිධ ආගමික ස්ථානවලදීය.වත්මන් පරපුරේ තරුණියන්ට සිය ආගම විහිලුවක් වූවත් මේ කථිකාචාර්යවරියට ඇගේ ජීවිතයට විශාලතම අනතුර සිදුවන්නේද මේ ආගමිල භක්තිය නිසාමය.

කිළිනොච්චිය විශ්ව විද්‍යාල මණ්ඩපයට අයත් නේවාසිකාගාරයත් බුදුන් වැදීමට හැකි බුදුමැදුරත් අතර දුර පයින් යා හැකි දුරකි.මේ නිසාම ඇය දිනපතාම කවර හෝ යෙහෙළියක් සමග ගොස් බුදුමැදුරේ බුදුන් වැදීමට පුරුදුව සිටියාය.

දිල්රුක්ෂි කථිකාචාර්යවරිය මේ වන අලියාගේ ප්‍රහාරයට ලක්වන දිනයේදීද බුදුන් වැදීමට ගියාය.පුරුදු පරිදි තවත් කාන්තාවක් සමග සුපුරුදු ගමන ගොස් බුදුන් වැද ඇයට නිරුපද්‍රිතව ආපසු නේවාසිකාගාරයට පැමිණීමට නොහැකි විය.

අඩ අදුරේ නේවාසිකාගාරය දෙසට එමින් සිටි මේ දෙදෙනා ඉදිරියට දැවැන්ත වන අලියෙකු කඩා වැදුණේ කිළිනොච්චිය අරිවියල්නගර් කැළයෙනි. දිල්රුක්ෂි කථිකාචාර්යවරියගේ තනියට සිටි කාන්තාව කෑගසමින් ආපසු හැරී දිව යන්නට වූයෙන් කථිකාචාර්යවරියද ඇයව අනුගමනය කළාය. එහෙත් මහ කැළයේ අණසක පතුරවමින් සිටින වන අලියාගේ ඉක්මන් ගමනට දිල්රුක්ෂි පරාජය වූවාය.
පසුපස ලුහු බැද පැමිණි වන අලියා ඉතාම ඉක්මනින් දිල්රුක්ෂිව අල්ලා ගත්තාය.හරියටම කවුරුවත් සිද්ධිය ඇසින් නොදැක්කත් ඇගේ සිරුරේ ඇති තුවාලවලට අනුව වන අලියා දෙවරක්ම ඇයට පහර දී පොළොවේ ගසා පාගා තිබේ.

හිත්පිත් නැති මේ ප්‍රහාරයෙන් පසුව වන අලියා කැළයට ගොස් ඇත්තේ කිසිවක් නොවූ පරිද්දේනි.

මහ කලුවරේ ඇසුණු මේ එක එක ශබ්දයන් නිසා එතැනට පැමිණි පිරිස අතර විශ්ව විද්‍යාලයේ පිරිසක්ද වූහ.ඔවුන් සියලුම දෙනා එක්ව තුවාල ලැබූ දිල්රුක්ෂිව කිළිනොච්චිය රෝහලට ඇතුළත් කළේය.

ඇගේ තත්ත්වය බරපතල නිසා වහාම ඇයට ප්‍රතිකාර ලබා දෙන අතර වාරයේම විශේෂ ගිලන් රථයකින් ඇයව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කළත් ඇයගේ ජීවිතයේ බොහෝ පද්ධති මියගොස් ඇති බව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු විසින් වාර්තා කොට තිබේ.ඒ අනුව කථිකාචාර්ය දිල්රුක්ෂිගේ මොළය සූසුම්නාව ස්නායු පද්ධතිය ස්වසන පද්ධතිය යන සියල්ලම නතර වී හමාර නිසා ඇය මියගොස් බවට නිවේදනය කෙරුණි.

නමුත් යාපනය විශ්ව විද්‍යාලයේ බලධාරීන්ගේ බලවත් ඉල්ලීම මතත් රෝහලේ බලධාරීන් හා විශ්ව විද්‍යාල බලධාරීන් අතර ඇති සම්බන්ධකම් නිසාත් කථිකාචාර්ය දිල්රුක්ෂිගේ සිරුරට මිනිසෙකුට ජීවත් වීමට අවශ්‍ය සියලු යන්ත්‍ර සවිකොට තිබේ. දැන් ක්‍රියාත්මක වන්නේ ඇගේ ජීවිතය නොව යන්ත්‍රවල බලයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතරවාරයේ වනජීවී නිලධාරීන් කථිකාචාර්යවරියට පහර දී වනයට පලාගිය වන අලියා සෙවීමේ මෙහෙයුමක් දියත් කොට තිබේ.නමුත් ඒ වන අලියා සොයා ගැනීමට එම නිලධාරීන්ට නොහැකි වී තිබේ.නිලධාරීන් වනය බාරව සිටින්නේ අපියැයි කීවද වනයේ අයිතිකාරයෝ වෙන පිරිසක් බව මනාව ඔප්පු වී තිබේ.

Exit mobile version